කඩුවෙල මහ නගර සභාවට කුණු දාන්න තැනක් නෑ

කඩුවෙල මහ නගර සභාවට කුණු දාන්න තැනක් නෑ

දිනකට කුණු ටොන් 75ක් එකතු වන බව නගරාධිපති කියයි

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට අයත් නිවෙස්වලින් ඉවත් කරන කුණු දැමීමට තැනක් නොමැතිවීම නිසා එය ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇති බැවින්, රජය වහාම නිසි විසඳුමක් ගත යුතුව ඇතැයි කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා බත්තරමුල්ල උප කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ 1,05,000ක පමණ වූ නිවෙස්වලින් ඉවත් කරන කුණු ටොන් 70 – 75 ප්‍රමාණයක් දිනපතා සේදවත්ත ප්‍රදේශයේ මුඩුබිමකට ගෙන ගොස් දැමීම කරගෙන ගියත්, දැන් මෙම කුණු දැමීම සඳහා ස්ථානයක් නොමැතිවීම නිසා, නගර සභාව විශාල අර්බුදයකට ලක්වී ඇති බැවින්, රජයේ අවධානය වහා යොමුවිය යුතුව ඇති බවද බුද්ධදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රාදේශීය සභාව නගර සභාවක් බවට පත්වීමෙන් පසු වරිපනම් බදු විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ නිසා වසර 5ක් යනතුරු වරිපනම් බදු ප්‍රමාණය, වැඩි නොකරන බවට ප්‍රදේශයේ ජනතාවට ලබාදුන් සහතිකය එලෙසම රකින බවද කී බුද්ධදාස මහතා, ඉඩමක් ඇති, නමුත් හරිහැටි නිවෙසක් නැති අන්ත අසරණ ජන කොටසක්ද කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ සිටින බැවින්, ඔවුන් වෙනුවෙන් ඇති කළ නිවාස සාදාදීමේ ව්‍යාපෘතිය 2013 වෙනුවෙන්ද ක්‍රියාත්මක කරන බැව් කීය.

කඩුවෙල නගරය සඳහා පළාත් සභාවේ සහාය ඇතිව ඉදිකළ කඩුවෙල බස් නැවතුම්පළ ලබන අප්‍රියෙල් මස 12 වැනි දින විවෘත කිරීමට නියමිතව තිබෙන බවද බුද්ධදාස මහතා තවදුරටත් කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා