මෙහෙව් කතා අසන්නට ලැබේ...!

මෙහෙව් කතා අසන්නට ලැබේ...!

පළාත් සභාවල ඡන්ද උණුසුම ටිකෙන් – ටික මෝරන්නට පටන්ගෙන තිබේ. මේ අතර වේදිකාවෙන් ඇසෙන විහිළු කතාවලට ද කන් දෙන්නට සිදු වේ. සමහර කෙනකුට මේ පළාත් සභා මැතිවරණයක්දැ’යි අමතක වී තිබේ. ආණ්ඩු පක්‍ෂය, විපක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය කියා වෙනසක් නැත. සියලු ම ඡන්ද අපේක්‍ෂකයන්ගේ ඔළු ගෙඩි බලය නම් සාධකයෙන් ඔල්මොරොන්දම් වී තිබේ. ඇතමකුගේ කතා අසන විට පෙනී යන්නේ “අනේ මේ මනුස්සයා මන්ත්‍රීවරයකු වුවහොත් මුළු පළාත ම ඉවරයි!” බඳු හැඟීමෙකි. තවත් අයගේ කතා අසන විට පෙනී යන්නේ “ඒ මනුස්සයාට තමන්ගේ පළාත ගැන කිසිම ඥානයක් නැත!” බඳු හැඟීමෙකි.

මීට කලින් පැවැති පළාත් සභා මැතිවරණයක දී වේදිකාවට නැඟ ගත් අපේක්‍ෂකයෙක් තම කතාව ආරම්භ කළේ ප්‍රභාකරන්ට ආමන්ත්‍රණය කරමින් ය. ඔහු ත්‍රස්තවාදය ජය ගන්නා හැටි ද, ප්‍රභාකරන් රටෙන් එළවා දමන හැටි ද විස්තර කළේ ය. යුද්ධයක් ගැන කිසිදු වැටහීමක් නැති මේ පුද්ගලයා යුද්ධ කරන ශිල්ප ක්‍රම පහදා දුන්නේ ය. රටට සාමය උදාකරන හැටි ද පෙන්වා දුන්නේ ය. වේදිකාව අවට උන් පිරිස අන්දුන් කුන්දුන් වූහ. අපේක්‍ෂකයා කතා කරන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ කෙනකු ලෙස ය. අවසානයේ ගැමියෙක් අසා සිටියේ ඔබතුමා අපේ ගමට ලබා දෙන්නේ මොනවාද යන්න ය. කතාව ඉබේ ම නැවැතිණි. ඒ 2009 ට පෙර සිද්ධියෙකි.

තවත් පළාත් සභා මැතිවරණයක දී අපේක්‍ෂකයෙක් වේදිකාවට නැංගේය. ඔහු පළමුව තමාගේ නම, පියාගේ නම කියමින් තමන් හඳුන්වා දුන්නේ ය. තමන්ගේ පියා එළවළු වෙළෙන්දකු බවත්, ඔහු සිය වෙළෙඳාම කරගෙන ගිය වෙළෙඳ පොළ නරකාදියක් බවත් අපේක්‍ෂකයා කියා සිටියේ ය. තමා පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස පත් කළහොත්; පළමුවෙන් ම සිදු කරන්නේ මිනිස් ගනුදෙනුවලට සුදුසු ලෙස වෙළෙඳ පොළ ඉදිකිරීම යැයි ඔහු කියා සිටියේ ය. පළාතේ් සුළු වෙළෙන්දෝ වේගවත් අත්පොළසන් නාදයක් දුන්හ. එම අපේක්‍ෂකයා පළාතේ ඇති ස්වාභාවික සම්පත් ගැනත්; එම සම්පත්වලින් ප්‍රයෝජන ගත හැකි ආකාරය ගැනත් විස්තර කළේ ය.

ඉහත සඳහන් සිද්ධි දෙක විග්‍රහ කරන විට කවුරු හරි ද? කවුරු වැරැදි ද? යන්න පැහැදිලි කරගත හැකි ය. පළාත් සභාවට තරග වදින ඇතැම් අපේක්‍ෂකයකුට තමන්ගේ පළාත ගැන කිසිදු හැඟීමක් නැත. ඇතැම්හු පළාතේ දිග - පළලවත් නො දනිති. සමහරුන් තම පළාතේ පිහිටි ගම්මානවල නමවත් අසා නැත. ඇතමකු වේදිකාවට නැඟ තම කතාව ආරම්භ කරනුයේ ගමේ නම වැරැදියට උච්ඡාරණය කරමින් ය. මෙබඳු අය කෙරෙහි ගැමියන් තුළ ඇත්තේ බලවත් අප්‍රසාදයෙකි. ගැමි සමාජයට බොරු කරන්නට පුළුවන්කමක් නැත. ඔවුන් තම පළාත ගැන බොහෝ දේ දන්නා බැවින් ය.

තව ටික දිනකින් පැවැත්වීමට නියමිත ව ඇත්තේ පළාත් සභා මැතිවරණයක් මිස මහා මැතිවරණයක් නො වේ. ජනාධිපතිවරණයක් ද නො වේ. මහා මැතිවරණයකින් ආණ්ඩු වෙනසක් සිදු කළ හැකි ය. ජනාධිපතිවරණයකින් එම තනතුරෙහි වෙනසක් ඇති කළ හැකි ය. එහෙත් පළාත් සභා මැතිවරණයකින් ඒ කිසිවක් කළ නො හැකි ය. පළාත් සභා ක්‍රමය පිළිගත්ත ද – නැත ද එබඳු මැතිවරණයක් පැවැත්වීමේ අරමුණ වන්නේ එම පළාත සංවර්ධනය කිරීම සඳහා දේශපාලන නායකත්වයට සුදුසු මහජන නියෝජිතයන් පිරිසක් පත්කර ගැනීම ය.

සුදුස්සන් කවුරුන්දැ’යි වේදිකාවල කරන කතාවලින් හොඳ හැටි පැහැදිලි කර ගත හැකි ය. අපට ජනතා විමුක්ති පෙරමුණෙහි සහෝදරයකුගේ කතාවක් අසන්නට ලැබිණි. ඔහු ඉන්දියාව ගැන කතා කළේ ය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළේ ය. ලෝක අධිරාජ්‍යවාදය ගැනත්; 17 වන ව්‍යවස්ථාව ගැනත් කතා කළේ ය. ජනතාව තුෂ්ණිම්භූ තව බලා සිටියෝ ය. ගමට පාරක් හදන හැටි, පාලමක් හදන හැටි, තරුණයකුට රැකියාවක් ලබාදෙන හැටි ඔහුගේ කතාවට ඇතුළත් නො වී ය. ඔහුගේ කතාව අවසන් වූයේ ආණ්ඩු පෙරැළියකින් පසු බිහිකරන සමාජවාදී රජයක් පිළිබඳ සිහිනයකින් ය. නිදා සිටින මිනිසුන්ට සිහින දැකීමේ අයිතියක් ඇතැ’යි කවුරුන් හෝ කියනු ඇසිණි.

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයකුගේ කතාවක් ද අපට අසන්නට ලැබිණි. පළමුව ඔහු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළේ ය. දෙවනු ව රටේ බදු ප්‍රතිපත්තිය හා විදේශ විනිමය ගැන කතා කළේ ය. ඒක පුද්ගල ආදායම හා දළ දේශීය නිෂ්පාදනය ගැන කතා කරන්නට ගිය එම අපේක්‍ෂකයා පඹගාලක පැටලුණේ ය. ඔහුට බොහෝ දේවල් වැරැදිණි. රටේ ඒක පුද්ගල ආදායම ගැන හෝ දළ දේශීය නිෂ්පාදනය ගැන හෝ ජාතික ආදායම ගැන හෝ නිවැරැදි අවබෝධයක් ඔහුට නො තිබිණි. ඔහු ස්වකීය පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය සඳහා බර වචන පාවිච්චි කළේ ය. කතාවේ අගක් – මුලක් නැත. අත්පොළසන් නාදයකින් තොරව ම කතාව නිමාවට පත් විය.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීධුර අපේක්‍ෂකයකුගේ කතාවකට ද අපි සවන් දුන්නෙමු. ඔහු කියාගෙන ගියේ අධිවේගී මාර්ග හැදෙන හැටි, ආයෝජකයන් රටට එන හැටි හා සංචාරක කර්මාන්තය දියුණු වෙන හැටි ගැන ය. අලුත් වරාය හා නව ගුවන් තොටුපොළ ගැන ද ඒ මහත්තයා කියාගෙන ගියේ ය. රටේ අලුත් සංවර්ධනයක් ඇති බව සැබෑවෙකි. ආණ්ඩුව ත්‍රස්තවාදය නිමාකොට රටට සාමය උදාකළ බව ද සැබෑවෙකි. ජාතික මට්ටමෙන් මෙන් ම ජාත්‍යන්තර මට්ටමෙන් ද ඒ ගැන සංවාදයක් පවතී. එහෙත් පළාත් සභා මැතිවරණයක දී ජනතාව අපේක්‍ෂා කරනුයේ එම ජාතික සංවර්ධනය සමඟ තමන්ගේ පළාත ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න ය. එබඳු කතාවක් කිසි තැනෙක දී අපට අසන්නට නො ලැබිණි.

උතුරේ මහ ඇමැතිධුර අපේක්‍ෂකයකු වන විග්නේශ්වරන් මහතාගේ මත දැක්වීම් කිහිපයක් ද අපගේ නිරීක්‍ෂණයට ලක් විණි. ඒ මහතා ඉන්දියාවට කියන්නේ එක් මතයකි. කොළඹට කියන්නේ තවත් මතයකි. යාපනයේදී ජනතාව අතරට යන්නේ තවත් මතයක් සමඟ ය. ඔහු එක්තරා පුවත්පතකට කියා තිබුණේ තමාගේ ඉලක්කය පළාත් සභාව ජයගෙන ඉඩම් හා පොලිස් බලතල උතුරට ලබාදීම බව ය. ඔහු කොළඹ ඉංග්‍රීසි පුවත්පත්වලට කතා කරන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදී මහත්මයකු ලෙස ය. ඉන්දියාවට හඟවන්නේ මෙරට දෙමළ ජනයාගේ ගැලවුම්කාරයා ලෙස ය. යාපනයේ දී ඔහු කතා කරන්නේ තනිකර දෙමළ ජාතිවාදියකුගේ විලාසයෙන් ය.

පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෙවත් මහජන නියෝජිතයකු ලෙස ජනතා වරමක් ඉල්ලා සිටින පුද්ගලයාට දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබිය යුතු ය. ඒ තමන් ජීවත්වන පළාත දැන් පවතින තත්ත්වයට වඩා උසස් තැනකට ගෙන යෑම සඳහා ය. මෙබඳු දර්ශනයක් හා වැඩපිළිවෙළක් සකස් කර ගත හැක්කේ තම පළාත පිළිබඳ යථාර්ථවාදී දැක්මක් ඇති පුද්ගලයකුට පමණි. තම පළාතේ මනුෂ්‍යයන් නො හඳුනන, තම පළාතේ දිග - පළල නොදන්නා පුද්ගලයකුට කිසි දිනෙක එබඳු දැක්මක් පහළ වන්නේ නැත. මේ පළාත් සභා මැතිවරණවලදී එවැනි මිනිසුන් කිහිප දෙනකු හෝ හමුවුවහොත්; එය අපේ වාසනාවෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා