මා වෙත එල්ල වන වෛරී අවලාද, අපහාස අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමමි

මා වෙත එල්ල වන වෛරී අවලාද, අපහාස අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමමි

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති
ඩිලාන් පෙරේරා

අප ලද ජයග්‍රහණය ආපස්සට හරවමින් රට විනාශය කරා ගෙන යන ජාත්‍යන්තර මෙන්ම දේශීය සතුරන්ට ඉඩ නොදෙමු යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ගෙවූ භීෂණකාරී, විනාශකාරී අතීතය අපේ දූ දරුවන්ටත් ශ්‍රී ලංකාවටත් අත්විඳීමට ඉඩ නොදෙමු යැයි ප්‍රකාශ කරන ඇමැතිවරයා, තම අත්සනින් යුතුව නිකුත් කළ ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි. මම බෞද්ධයෙක්මි. මම ඒ ගැන අභිමානවත්ව, නිහතමානීව සතුටු වෙමි. මගේ ඒ අභිමානයටත් සතුටටත් හේතුවක් තිබේ.

ඒ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සම්බුද්ධ ධර්මය අවිහිංසාව පදනම් කරගත් ධර්මයක් වන බැවිනි. මෙලොව පරලොව දෙකටම මඟ කියන මා දත් දහම බුදු දහම වන බැවිනි.

බුදු දහම ගිහියෙක් වූ මට ජීවන මඟ කියා දුන්, කියාදෙන දහමකි. බුදු දහම නිසා මම නිවුනේ වුනෙමි. බොහෝවිට තවමත් කිපෙන සුලු මම හැකි හැමවිටෙක පරුෂ වචන, වෛරයේ භාෂාව වෙනුවට දයාවත් කරුණාවත් මෛත්‍රියත් පතුරන්නට උත්සාහ ගනිමි. ඒ සඳහා මම බුදු දහමින් ආභාසය ලබන්නෙමි. ඒ සඳහා මට මඟ කියා දුන්නේ මා ළමා කාලයේදී ලද දහම් පාසල් අධ්‍යාපනයයි.

මා දහම් පාසල් අධ්‍යාපනය ලැබූවේ මුලින්ම මොරටුව එගොඩඋයන ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලෙනි. දැනට වසර සියයක් ඉක්ම වූ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල ආරම්භ කරන ලද්දේ මාගේ මවගේ පියා විසිනි. මා දෙවනුව දහම් පාසල් අධ්‍යාපනය ලැබූවේ වජිරාරාමයෙනි. වජිරාරාමවාසී නාරද ස්වාමීන්වහන්සේ අපගේ ගුරුවරයාණෝ වූහ. උන්වහන්සේගේ සිල්වත් බවත් සංවරශීලි මෛත්‍රිය පතුරවන වචනත් අප වෙනස්ම මිනිසුන් පිරිසක් කළ සේක.

මේ ඉතිහාස කතා මා ගෙන හැර දක්වන්නේ ආසන්නම දිනෙක වෛරී භාෂාව පතුරවන සිදුවීමක් මා දුටු නිසාය.

මම බෞද්ධයකු වන නිසාම බෞද්ධ නොවන සියල්ලන්ටමත් මෛත්‍රී කෙළෙමි. වෛරයේ ප්‍රතිඵලය ලෙස 30 වසරක් පුරා උතුරේත් දකුණේත් ලක්ෂ ගණනක මිනිස් ජීවිත විනාශ වූ සැටි මම දුටුවෙමි. ඒ ජීවිත අතර සිංහල, ‍ෙදමළ, මුස්ලිම් මෙන්ම බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් භක්තිකයෝ ද වූහ. වෛරය වැපිරූ පසු අස්වැන්න වන්නේ විනාශයයි. ඒ සත්‍යය යථාර්ථයක් සේ අත්දුටු සිංහල බෞද්ධ ශ්‍රී ලාංකිකයෙක් ලෙස මම ජාතීන් අතර වෛරය පැතිරෙනවාට එරෙහි වෙමි. විරුද්ධ වෙමි.

එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වෙනුවට මාව නුරුස්නා එක් භික්ෂුවක් දැන් මා වෙත වෛරයෙන් ප්‍රකෝපකාරී වචනවලින් දමා ගසමින් සිටී.

මෙම වෛරී භාෂාව ඇසුණු මාගේ මතකය යොමු වූයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වසල සූත්‍රය වෙතටයි. සැවැත් නුවර අනේපිඬු සිටුතුමන් සසුනට පරිත්‍යාග කළ දෙව්රම් වෙහෙරෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරමින් සිටිනා සමයක සිය නිවසෙහි ගිනි දල්වා “අග්නිහෝමය” කරමින් සිටි අග්ගික භාරද්වාජ බමුණා නිවසට පිඬු සිඟා වැඩි සේක. බමුණා භාග්‍යවතුන් වහන්සේට වසලයා, මුඩු මහණා, නීච මහණා... ආදී පරුෂ වෛරී භාෂාවෙන් දමා ගැසීය. කෝප නොවූ බුදුරජාණන් වහන්සේ බමුණාට වසලයකු වන කරුණු පහදා දුන් සේක.

“න ජච්ඡා වසලෝ හොති - න ජච්ඡා හොති බ්‍රාහ්මණො”
“කම්මනා වසලො හොති - කම්මනා හොති බ්‍රාහ්මණො”

“යමෙක් තමන් උපන් ජාතිය හේ තු කො ට ගෙන වසලයෙක් නොවේ. බ්‍රාහ්මණයෙක්ද නොවේ. ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාව අනුව ඔහු වසලයකු හෝ බ්‍රාහ්මණයෙක් වේ.”

මම මේ බුදු දහම විශ්වාස කරමි. මගේ ජීවිත කාලය පුරා බොහෝ භික්ෂූන් වහන්සේ ඇසුරු කර ඇත්තෙමි. වෙනත් ආගමික යතිවරයන් ද මම ඇසුරු කර ඇත්තෙමි. ඒ සෑම කෙනකුගෙන්ම මා උගත්තේ මෛත්‍රීය, කරුණාව සහ සමානාත්මතාවයයි. මම ඒවා අගය කරමි. ආරක්‍ෂා කරමි.

ඒ නිසාම බොදු බල සේනා ලෙස නම් කර ගනිමින් අහිංසක සිංහල බෞද්ධ ජනයා විනාශයේ ආගාධය වෙත ගෙන යන ව්‍යාපාරයක භික්ෂුවක් ආක්‍රෝෂ, පරිභව පරුෂ වචනයෙන් වෛරය පතුරවමින් කතා කිරීම මට නම් විමතිය දනවන සිදුවීමකි. මා දන්නා ආකාරයට වචනය සංවර කරගත්, කෝටියක් සංවර ශීලය රකිනා උපසපන් භික්ෂූන් වහන්සේ මෙවැනි භාෂාවක් භාවිතා කිරීම විමතියකි. ශෝකය දනවන්නකි.

එසේම බොදු බල සේනා ව්‍යාපාරයේ තේමා ගීතය වන...

“ඝෝර මරසෙන් රැගෙන බල සෙන්
යළිත් ඇවිදින් පෙරහරේ

මාර බල බිඳි බුදු පියාණෙනි
ඔබ දෙසූ ධර්මය අනතුරේ”

පදවැල් කිහිපය මෙන්ම එහිම එන...
“නව යුගයේ නෙක බුදුවරු පහළව ගෞතම බුදුරුව කළුවරේ...”

යන වදන් වැල්ද යළි යළිත් අපට සිහිපත් කරන්නේ බෞද්ධ වේශයෙන් එන මේ අබෞද්ධ විනාශකාරී බලවේග පිළිබඳව යැයි මම විශ්වාස කරමි.

මම මේ වෛරයට පෙරළා වෛර නොකරමි. එමෙන්ම ජාතීන් අතර සහයෝගීතාවත් මිනිස්කමත් වෙනුවෙන් මා දරන ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනස් නොකරමි.

මා වෙත එල්ල වන වෛරය පිරි සියලු අවලාද, අපහාස අලුයම ලූ කෙල පිඩක් සේ ඉවත දමමි. මම දැන උගත් බුදු දහම අනුව යමින් වෛරය පතුරවන්නන්ට මෛත්‍රී කරමි.

ඒ අතරම ජාතිවාදීන් නොවන, යුදවාදීන් නොවන, අන්තවාදීන් නොවන අපේ රට අලුත් යුද්ධයක් කරා ඇද වැටෙනවා දකින්නට අකමැති බහුතරයක් ගෞරවනීය ශ්‍රී ලාංකිකයන් වෙත විවෘත ආරාධනයක් කරනු කැමැත්තෙමි.

ජනතාව බෙදා විනාශ කරමින්, ජනතාව එකිනෙකා අතර වෛරී කොටස් බවට පත්කරන සියලු ආකාරයේ විනාශකාරීන්ට සාමකාමීව එරෙහි වෙමු. ඒ සඳහා අප එකිනෙකාගේ අත් අතනොහැර අත්වැල් ගෙන එක්වෙමු.

“නහී වේරේන වේරානී සම්මන්තීධ කුදාචනං
අ‍ෙවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනත්තනො”

“මෙලොව කවර කලෙකවත් වෛර කිරීමෙන් වෛරය නොසන්සිඳේ. වෛරය සන්සිඳෙන්නේ අවෛරයෙනි. අවෛරයෙන් වෛරය සන්සිඳෙන බව පෞරාණික ධර්මයයි. එය බුද්ධාදී උතුමන් ගිය මඟයි.”

“කැලෑ සතා, වනචරයා...” ආදී වෛරී පරුෂ වචනයෙන් මට දෙස් දෙවොල් තබන බොදු බල සේනා භික්ෂුව ඇතුළු සියල්ලන්ටම මම ඒ උතුම් බුදු දහම අනුව යමින්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, යනුවෙන් මෛත්‍රී කරමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා