රතුපස්වල ජල ගැටලුවට රජයෙන් කඩිනම් විසැඳුම්

රතුපස්වල ජල ගැටලුවට රජයෙන් කඩිනම් විසැඳුම්

වැලිවේරිය රතුපස්වල හා ඒ අවට ප්‍රදේශවල පානීය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීමට රජය විසින් කටයුතු කර ඇති අතර ආයතන 10ක් මගින් ප්‍රදේශයේ ජල සාම්පල් ලබාගෙන කඩිනමින් ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීමට නියමිතව ඇත.

රජය ඒ පිළිබඳ විසඳුම් ලබාදීමට ලහිලහියේ කටයුතු කරන අතර ජල ටැංකි හා ජල බව්සර් යොදවමින් ජනතාවට පානීය ජලය ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් ප්‍රදේශයේ පළාත් පාලන ආයතන මගින් සපයා ඇත.

මහර මැතිවරණ කොට්ඨාසයේ ඌරුවල්පේරුවේ ග්‍රාම නිලධාරී වසම් 31ට මෙම ප්‍රශ්නය බලපා ඇති අතර එම ප්‍රදේශ ආවරණය කරමින් ජල බව්සර් 11 ක් යොදාගනිමින් ජල ටැංකි 400කින් පානීය ජල පහසුකම් ජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇත. මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මහර ගම්පහ ප්‍රාදේශීය සභා ගම්පහ නගර සභාව දායකත්වය ලබාදී ඇත.

ගම්පහ මැතිවරණ කොට්ඨාසයට අයත් වැලිවේරිය, නැදුන්ගමුව, රතුපස්වල, ගොඩගෙදර,ගල්ඔළුව, යන ග්‍රාම නිලධාරී වසම් වෙනුවෙන් ජල ටැංකි 350ක් පමණ යොදවා ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ දායකත්වයද මේ සඳහා ලැබී ඇත.

ජල ගැටලුවට මුහුණපා සිටින වැලිවේරිය හා රතුපස්වල ප්‍රදේශවල ජනතාවට රජය මගින් ලබාදී ඇති සහන පිළිබඳ අදහස් දැක්වූ මහර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අජන්ත වික්‍රමආරච්චි මහතා (එ.ජ.නි.ස) - පසුගිය දිනවල සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ජන ජීවිතය දැන් යථාතත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ජනතාව සන්සුන්ව සුපුරුදු පරිදි එදිනෙදා කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙනතුරු මහර හා ගම්පහ ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව මුළු ප්‍රදේශයම ආවරණය වන පරිදි ජලටැංකි ස්ථාපනය කර ඒවාට පිරිසිදු පානීය ජලය ලබාදීම දිගටම සිදු කරනවා.

ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති තුමාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් නායක ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ජල ගැටලුවට මුහුණ දී සිටින ජනතාවට ජලනළ පහසුකම් ලබාදීමට මේ වන විටත් සැලසුම් සකස්කර තිබෙන බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා