සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට පොදු රද මඩුලු සමුළුව අපට ලැබුණු වරමක්

සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට පොදු රද මඩුලු සමුළුව අපට ලැබුණු වරමක්

- ආචාර්ය අජිත් දිසානායක

ලොව බලවතුන්ගේ ආකෘතිවලින් මිදී පරාධීන ආර්ථික රටාව අතහැර තිස්අවුරුදු යුද්ධයද ජයගෙන ආණ්ඩුව ගෙන යන යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් සාර්ථක කරගැනිමට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රද මඩුලු සමුළුව වරප්‍රසාදයක් වනු ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති ආචාර්ය අජිත් දිසානායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් 'දිනමිණ' වෙත වැඩිදුරටත් අදහස් දැක්වු ආචාර්ය දිසානායක මහතා ලෝකයේ බොහෝ බලවත් රාජ්‍යන් පවා ආර්ථික වශයෙන් බිඳ වැටෙද්දි පශ්චාත් යුද සමයක් ගෙවන අපි 7.5%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනු ලබයි.

මේ තත්ත්වය රජය උදාකර ගත්තේ ඔවුන් ක්‍රියාත්මක කළ දූරදර්ශි ආර්ථික වැඩපිළිවෙළ නිසයි. දිවිනැගුම, මගනැගුම,ජාතික සවිය ඇතුළු සංවර්ධන යෝජනාක්‍රම රැසක් රටේ ක්‍රියාත්මක වන අතර අධිවේගි මහා මර්ග,ගුවන් තොටුපොළ,වරාය, දුම්රියමාර්ග වැනි සංවර්ධන කටයුතු සිදුකරනවා සේම ගමේ මංමාවත් සංවර්ධනය කරමින් රටේ සෑම ප්‍රදේශයක්ම එක ලෙස වෙලා ගත් සංවර්ධන ක්‍රියාවලියක් පවත්වාගෙන යයි.

මේ අතර අවිආයුධ දරා සිටි පුද්ගලයින් පුනරුත්ථාපනයකිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම, උතුරු-නැ‍ඟෙනහිර පළාත්වල පවුල් නැවත පදිංචි කිරීම වැනි කාර්යන් ලොව මවිත කරන අයුරින් සිදුකිරීමද කවුරුත් අගය කළ යුතුයි.

බටහිර රටවල ආර්ථික ආකෘතිද ස්කැන්ඩෙනියානු රටවල සාම ආකෘතිද පසෙකලා යුද්ධය ජයග්‍රහණය කරමින් තේ, පොල්, රබර් වගාකළ ආර්ථිකයට තිත තබමින් පරාධීන ආර්ථිකයෙන් මුදවා ගෙන අපට අවශ්‍ය අර්ථික සංවර්ධන රටාවක් නිර්මාණය කරගෙන යන අපට මේ සමුළුව පැවැත්වීමට ලැබීම ජයග්‍රාහි අවස්ථාවකි. ඉන් විපුල ප්‍රයෝජන ගැනිමට කටයුතු කරමු යැයි අජිත් දිසානායක මහතා අදාළ බලධාරින්ගෙන් ඉල්ලුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා