සෙන්පති කොබ්බෑකඩුව මියගොස් වසර 21යි

සෙන්පති කොබ්බෑකඩුව මියගොස් වසර 21යි

රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ දැවැන්ත සටනක යෙදී අවසානයේ රට වෙනුවෙන් දිවි පිදූ අභීත සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රමුඛ ශ්‍රේෂ්ඨ රණවිරුවන් 10 දෙනකු දිවි පුදා අදට (08) වසර 21ක් සපිරේ.

1992 අගෝස්තු 08 වැනිදා පෙරවරු 10.00ට පමණ යාපනය අරාලිතුඩුවේදී මෙම මහා ඛේදවාචකය සිදු විය.

එහිදී දිවි පිදූ සෙසු හමුදා විරුවන් වූයේ මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටීවන්, ලුතිනන් කර්නල් පී.එච්. ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන්. පලීපාන, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර් බී. විජේපුර, මේජර් නලින් ද අල්විස් සහ සෙබළ ඩබ්ලිව්.ජේ. වික්‍රමසිංහ යන අයයි. මෙහිදී දිවි බේරුණ ‍එකම හමුදා සෙබලා වූයේ ජෙනරාල් කොබ්බෑකඩුව විරුවාගේ බඩියා වූ කෝප්‍රල් උපාලි පමණි. ඔහුගේද දෙපා දෙඅත් අහිමි වී ඇත.

කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ මෙහෙයුම් ගණනාවක් දියත් කර කොටින්ට විශාල පරාජයක් ලබාදෙමින් කටයුතු කර අවසානයේ උතුරේ විශාල මෙහෙයුමක් දියත් කිරීම සඳහා සැලසුමක් සකස් කර තිබූ කොබ්බෑකඩුව විරුවා‍ණන් ඇතුළු පිරිස යම් කිසි රාජකාරී කටයුත්තක් සඳහා කයිට්ස් සිට ගමන් කර ආපසු එමින් සිටියදී අරාලි තුඩුවේ එම ස්ථානයේ වළදමා තිබූ බිම් බෝම්බයකට හසුවී ජීවිතක්ෂයට පත් වූහ.

වැලිඔය දැවැන්ත සටනක් කර එකම ස්ථානයේදී කොටි ත්‍රස්තවාදීන් දහසකට වඩා ඝාතනය කර විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි වූයේ ජෙනරාල් කොබ්බෑකඩුව සෙන්පතියාණන්ගේ ප්‍රමුඛත්වයෙන් සිදුවූ මෙහෙයුමකින්ය.

ඒ ආකාරයෙන් බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කිරීමේ අරමුණින් උතුරේ ක්‍රියාත්මක කිරීමට ගිය ‍එම දැවැන්ත මෙහෙයුම් සැලසුම ජනරාල් කොබ්බෑකඩුව සෙන්පති ඇතුළු හමුදා විරුවන්ගේ අභාවයත් සමඟ අකර්මන්‍ය විය. එහෙත් එතුමා එදා රටට උදා කර දීමට සිහින මැවූ නිදහස යළි ස්ථීර වශයෙන් උදාකර ගැනීමට ඊට වසර (15)කට පසු අපේ රණවිරුවන්ට හැකි විය.

ඒ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව එකට එක්වී සිදු කළ දැවැන්ත මානුෂික මෙහෙයුමේ ජයග්‍රහණය තුළින්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා