ගබ්සාවීමට කතකට ඖෂධ දුන් මහාචාර්යවරයාට හා හෙදියට ඇප

ගබ්සාවීමට කතකට ඖෂධ දුන් මහාචාර්යවරයාට හා හෙදියට ඇප

ගබ්සාවක් සිදුකිරීමට පොලිස් කාන්තාවකට ඖෂධ ලබාදුන් බවට චෝදනා ලැබ සිටින විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරිල් රන්දෙණිය මහතාට හා ඊට ආධාර අනුබල දුන් බවකියන සහාය හෙදිය රුපියල් පහලොස් දහස බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා මහත්මිය (06) නියෝග කළාය.

ගැබිණියකගේ ජීවිතයක් බේරා ගැනීම සඳහා සද්භාවයෙන් කරන ගබ්සාවක් නොවන ගබ්සාවක් කළ බවට මහාචාර්ය සිරිල් රන්දෙනිය මහතා සමඟ චෝදනා ලැබ සිටිනුයේ ඔහුගේ හෙදිය ලෙස කටයුතු කළ කාලෝචනා මැණිකේ කුමාරි නමැත්තියයි.

අධිකරණය මගින් නිකුත් කළ සිතාසි මත ඊයේ (08) අධිකරණය හමුවේ පෙනී සිටි මේ විත්තිකරුවන් හට විවෘත අධිකරණයේ දී අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව අධිකරණ භාෂා පරිවර්තක විසින් එම අධි චෝදනා කියවා තේරුම් කර දෙන ලදී.

මහාචාර්ය සිරිල් රන්දෙනිය මහතා හා ඔහුගේ හෙදිය එම අධි චෝදනාවන්ට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුනට එසේ ඇප නියම වුණි.

2009 දෙසැම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී දෙමටගොඩ පෞද්ගලික බෙහෙත් ශාලාවකදී පොලිස් කොස්තාපල්වරියකගේ ජීවිතය බේරා ගැනීම සඳහා සද්භාවයෙන් කරන ගබ්සාවක් නොවන ගබ්සාවක් සිදුකළ බවට මහාචාර්යවරයාටද ඊට ආධාර අනුබල දුන් බවට හෙදියටද නීතිපතිවරයා විසින් අධි චෝදනා නගා ඇත.

විත්තිකරුවනට ඇප නියම කළ විනිසුරුවරිය නඩුව නැවත කැඳවීම ලබන ඔක්තෝබර් මස 30 වැනිදාට කල් තැබීය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නෙවිල් අබේරත්න මහතා සමඟ නීතිඥ රංජිත් කල්දේරා මහතා පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා