සමහර ටෙලි නාට්‍යවලට පිටපතක්වත් නැහැ

සමහර ටෙලි නාට්‍යවලට පිටපතක්වත් නැහැ

- ඇමැති ටී.බී.ඒකනායක

රටේ නවදැක්මක් සදහා භාෂාව උද්දීපනය පිළිබද අර්ථ කථන ලබාදීම සදහා ශබ්දකෝෂය ඉතා වැදගත් වන බව සංස්කෘත හා කළා කටයුතු ඇමැති ටී.බී.ඒකනායක මහතා පවසයි.

මහ සඟරුවන විශ්‍රාමික අගරදගුරු තුමා සහ අමාත්‍යවරු උත්සව අවස්ථා වට එක් වූ අයුරු

සම්මත සිංහල භාෂා භාවිතයක අවශ්‍යතාව අද යුගයේ මැනවින් අවශ්‍ය බවත් ඒ සදහා ශබ්දකෝෂය මනා පිටිවහලක් වනබවද ඇමැතිවරයා පෙන්වා‍ දෙයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ(07) ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ පැවති ත්‍රෛභාෂික ශබ්දකෝෂය එළිදැක්වීම හා එයට සමගාමීව පැවති සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

සංස්කෘත හා කළා කටයුතු අමාත්‍යංශයේ මඟ පෙන්වීම මත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශණයක් ලෙස සිංහල ශබ්දකෝෂ කාර්යාලය මගින් සම්පාදිත ත්‍රෛභාෂිත ශබ්දකෝෂයේ පළමු වැනි කාණ්ඩය දොරට වැඩීම සිදුකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් කතාකළ ඇමැතිවරයා මෙසේද පැවසීය......

සම්මත සිංහල භාෂාවක අවශ්‍යතාවය පිළිබද සංවාද ගණනාවක් ගොඩනැඟි තිබෙනවා.ඒ ශබ්දකෝෂයක වචන පිළිබදව නිවරදි අර්ථ කථන කෙසේ වියයුතුද යන්නයි.‍

සමහර ටෙලි නාට්‍ය වල භාෂාව පිළිබද විවිධ ගැටළු තිබෙනවා.සමහර ටෙලි නාට්‍යවලට පිටපතක් වත් නැහැ. එහි නළු නිළියන් එවේලේම කැමති ලෙස භාෂාව භාවිතා කරමින් එහි රඟපානවා.මේවා ආලින්දයට වෙලා කුඩාදරුවාගේ සිට මහල්ලා දක්වා නරඹනවා.එම නිසා නිවරදි ලෙස බස හැසිරවීම වගකීමෙන් යුතුව කළ යුතුයි.

භාෂාවට අලුතෙන් වචන එක්වෙනවා.ජනතාව අලුතෙන් වචන හදනවා.මේ ක්ෂෙත්‍රයේ තුළ භාෂා විෂාරදයන්ට විද්වතුන්ට අතිවිශාල කාර්යක් කළ යුතුව තිබෙනවා.

අඩුපාඩුකම් මධ්‍යයේ වුවද සිංහල ශබ්දකෝෂයේ කර්තෘ අකුරටියේ නන්ද හිමියෝ ප්‍රමුඛ විද්වතුන් මෙම ශබ්දකෝෂය එළිදැක්වීමට විශාල පර්යේෂණ කරමින් විශාල කාර්ය භාරයක් සිදුකළා. ශබ්දකෝෂකාර්යාලයේ කටයුතු කිරීම පහසුවීම සදහා එහි ඇති අඩුපාඩු ඉක්මනින් පියවීමට ඉදිරියේදී කටයුතු කරනවා.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා මෙසේ පැවසීය.....

ත්‍රෛභාෂිත ශබ්දකෝෂය එළි දැක්වීම විශාල සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකියි.අපි ත්‍රෛභාෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ලෙස භාෂා තුනම දැන ගැනීම ඉතා වැදගත්.විශේෂයෙන් ප්‍රධාන භාෂා දෙක දැනගැනීම එම භාෂා දෙකේ දැනුම හුවමාරුකරගනිමින් ජාතීන් අතර හෘදයාංගම බැදීමක් ඇති කර ගත හැකියි‍.

කැළණිය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය විල්සන් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය....

ශබ්දකෝෂයක මූලික ඒකකය වචනයයි.ලෝක ඉතිහාසයේ වචනය මුල්වූ ස්වාධීන ශබ්දකෝෂයක් බිහිවූයේ ක්‍රිස්තු පූර්ව 3500 දීයි.ඒ සුමේරියන්වරු තම දරුවන්ට භාවිතා කිරීම සදහා වචන ගොනුකර මැටිපුවරුවල කල ශබ්දකෝෂයයි.ඒ සමගම චීනයෙත් මෙවැනි ශබ්දකෝෂ බිහිවුණා.

මේ අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ධ නාහිමි, සිංහල ශබ්දකෝෂයේ කර්තෘ අකුරටියේ නන්ද හිමියෝ, මහාචාර්ය අඟුලුගහ ධම්මානන්ද නාහිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි ඇතුළු මහ සඟරුවන, ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් විශ්‍රාමික අගරදගුරු තුමා, සංස්කෘත හා කළා කටයුතු අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විජිත් කණුගල, මහචාර්ය වරුන් වන විමල් ජී‍.බලගල්ල, ජේ.බී.දිසානායක, විල්සන් රාජපක්ෂ, රත්නසිරි අරංගල, ආචාර්ය සඳගෝමී කෝපරහේවා, යන මහත්වරුන් ඇතුළු මහචාර්ය වරු ආචාර්ය වරු ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා