ගුණාත්මක ටෙලිනාට්‍ය ප්‍රදර්ශනයට ක්‍රමවේදයක් සැකසීමට ජනපති අවධානය

ගුණාත්මක ටෙලිනාට්‍ය ප්‍රදර්ශනයට ක්‍රමවේදයක් සැකසීමට ජනපති අවධානය

ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය සඳහා රූපවාහිනී නාලිකා වෙත ඉදිරිපත් කිරීමේදී ඒවායේ ගුණාත්මකභාවය රඳවා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කෙරේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණේ කලාකරුවන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (06) පැවැති සාකච්ඡාවකදීය.

විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු කලාකරුවන් තම කටයුතු කරගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සහ පොදුවේ කලාකරුවන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදි ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ.

ටෙලිනාට්‍ය ප්‍රබල ලෙස සමාජගතව ඇති බැවින් ඉන් ලබාදෙන පණිවුඩය අයහපත් වුවහොත් ශ්‍රී ලාංකීය සමාජයට සංස්කෘතියට හා සදාචාරයට අහිතකර බලපෑම් ඇතිවීමේ තත්ත්වයක් මතුවීමට ඉ‍ඩ ඇති බැවින් ඒ සඳහා අවධානය යොමු කිරීමේ‍ අවශ්‍යතාවය කලාකරුවෝ මෙහිදී පෙන්වා දුන්හ.

ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් තත්ත්වයෙන් උසස් නිර්මාණ සඳහා පෙළඹවීමේ අවශ්‍යතාවයද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා රූපවාහිනී නාලිකා සතුව පවතින වගකීම පිළිබඳවද කරුණු පෙන්වා දුන්නේය. ටෙලිනාට්‍ය එක් අධීක්ෂණ මණ්ඩලයක් මඟින් නියාමනය කිරීම තුළින් තත්ත්වයෙන් උසස් නිර්මාණයන්ට ඇගයීමක් ඇති කිරීමත් විකාශන අවස්ථා පුළුල් කිරීම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණ.

නිර්මාණකරුවන් වෙත කර්තෘභාග ගෙවීම් මේ දක්වා විධිමත්ව සිදු නොවන බවද කලාකරුවෝ මෙහිදී ජනාධිපතිතුමා වෙත පෙන්වා දුන්හ. ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා බුද්ධිමය දේපළ කාර්යාංශය ඇතුළු ඒ සඳහා දායකකර ගත හැකි අනෙකුත් ආයතන හා එක්ව කටයුතු කරමින් කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කර ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

කලාකරු පිළිසරණ අරමුදල මඟින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ පිළිබඳවද නගර මට්ටමෙන් වැඩි පහසුකම්වලින් සමන්විත සිනමා ශාලා අලුතින් ඉදිකිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට බැංකු සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳවද සාකච්ඡා කෙරිණ.

වේදිකා නාට්‍ය ශිල්පීන්ට සිය පුහුණුවීම් කටයුතු කරගෙන යාම සඳහා කොළඹ තදාසන්න ප්‍රදේශයේ පහසුකම් සහිත ස්ථානයක් නොමැතිවීමෙන් නාට්‍ය ශිල්පීන් මුහුණ පා ඇති අසීරුතාවයන් පිළිබඳවද මෙහිදී කලාකරුවෝ ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළහ.

නෙළුම් පොකුණ රංග ශාලාව යොදා ගනිමින් දේශීය කලාවන් ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර එය මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද අවධානය යොමු කෙරිණ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ටී.බී. ඒකනායක, විමල් වීරවංශ, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ජනාධිපති ලේකම් ‍ලලිත් වීරතුංග යන මහත්වරුද එක්ව සිටි අතර කලාකරුවන් රැසක් සහභාගී වී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා