කිරි පිටි දැන්වීම් ප්‍රචාරය තහනම්

කිරි පිටි දැන්වීම් ප්‍රචාරය තහනම්

විද්යුත් මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ට දන්වයි

සියලුම කිරිපිටි වර්ගවල දැන්වීම් ප්‍රචාරය නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. කිරිපිටි දැන්වීම් පළ කිරීම අත්හිටුවන ලෙස සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

1980 අංක 26 දරණ ආහාර පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී ඇති බලතල යටතේ ආහාර උපදේශක කමිටුව සමඟ සාකච්ඡා කර මේ තීරණය ගෙන තිබේ.

කිරිපිටි වර්ග සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පවතිද්දී ඇතැම් කිරිපිටි නිෂ්පාදන වර්ග පිළිබඳ ජනතාව නොමඟ යවන ආකාරයේ දැන්විම් පළකරන බව පෙනීගොස් ඇති බැවින් මේ අත්හිටුවීම ක්‍රියාත්මක කරන අතර එවන් දැන්විම් පළ කිරිමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සියළුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

මෙරට වෙළඳපොළේ පවතින සියලුම ආනයනික කිරිපිටිවල ඩයිසයනඩයමයිට් (ඩීසීඩි) රසායනිකය හා බොටියුලිසම් නමැති බැක්ටීරියාව අඩංගුව ඇත්ද යන්න සොයාබැලීම සඳහා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පරීක්ෂන පවත්වයි. කාර්මික තාක්ෂණික ආයතනයේ හා සිංගප්පූරුවේ පිහිටි ප්‍රමුඛ රසායනාගාරයක සහාය ඇතිව මේ පරීක්ෂන සිදුකෙරේ.

මේ පරික්ෂණ වාර්තා ලැබීමෙන්පසුව ප්‍රචාරක දැන්වීම් අත්හිටුවීම ඉවත්කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසුවේය.

ඩයිසයනඩයමයිට් (ඩීසීඩි) විස සහිත රසායනිකය අඩංගු කිරිපිටි වර්ග මෙරට වෙළඳපොළේ පවතින බව මාධ්‍ය මඟින් පළ කර තිබිණ. චීනය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය හා සෞදි අරාබියාව යන රටවල ද මේ විස සහිත කිරිපිටි භාවිතය සිදු කළ බව විදේශ මාධ්‍යයන්හි පළකර තිබිණ. මේ විස රසායනිකය අඩංගු කිරිපිටි ආනයනය චීනය හා රුසියාව විසින් තහනම් කර තිබේ.

බොටියුලිසම් නම් බැක්ටීරියාව මඟින් ඇති කරන රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයා සිහි මූර්ඡාවට හෝ මරණයට පවා පත්කරන බව වෛද්‍යවරු පෙන්වාදෙති.

නවසීලන්තයෙන් ගෙන්වා ඇති සැකකටයුතු සියළුම කිරිපිටි වර්ග ඉකුත් සඳුදා පටන් වෙළෙඳපොළෙන් ඉවත්කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා