අගුලාන තරුණයන් ඝාතනයේ අභියාචන තීන්දුව කල් යයි

අගුලාන තරුණයන් ඝාතනයේ අභියාචන තීන්දුව කල් යයි

අගුලාන ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියමව සිටින අඟුලාන පොලිසියෙහි හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සිවුදෙනකු එම දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සම්වල විභාගය ඊයේ (07) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබුවේය.

පෙත්සම් සම්බන්ධ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 18 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට නියම විය.

ශිරාණි තිලකවර්ධන, චන්ද්‍රා ඒකනායක, සත්‍යා හෙට්ටිගේ, පි‍්‍රයසාත් ඩෙප්, ඊවා වනසුන්දර යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් විභාග කරන ලදී.

2009 වසරේ අගෝස්තු මස 12 වැනිදා මුතුතන්ත්‍රී බස්තියන්ගේ දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ගෝනියා මාලියගේ ධනුෂ්ක උදයකාන්ත අපොන්සු නමැති තරුණයන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඟුලාන පොලිසියෙහි හිටපු ස්ථානාධිපති තුඹේදුර නිව්ටන් ඇතුළු සිව් දෙනකු බවට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් තීරණය කරන ලදී.

ඒ අනුව ඔහුට සහ ගලගමගේ ඉන්ද්‍රවංශ, ජයරත්නගේ ධම්මික නිහාල් ජයරත්න, ජනපි‍්‍රය සේනාරත්න යන අයට මරණ දඬුවම නියම කෙරිණි. එම මහාධිකරණ තීන්දුව අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි විත්තිකාර අභියාචකයෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා