කුලියට ගත් වාහන 1000ක් හොර ලියවිලි හදා විකුණලා

කුලියට ගත් වාහන 1000ක් හොර ලියවිලි හදා විකුණලා

වාහන කුලියට ගන්නා ආයතන සහ ඒවා කුලියට ලබා ගන්නා ඇතැම් පුද්ගලයන් ජාවාරමක් ලෙස එම වාහනවල හිමිකම් වෙනස් කර හොර රහසේ අලෙවි කිරීම නිසා වාහන හිමියන් දහසකට වැඩි පිරිසකට පසුගිය කාලය තුළ වාහන අහිමි වී තිබේ.

මේ සම්බන්ධව රහස් පොලිසිය කොළඹ අපරාධ කොට්ඨාසය, විශේෂ අපරාධ මෙහෙයුම් අංශ යන දිවයිනේ පොලිසි ගණනාවකටම ලැබුණු පැමිණිලි මත පරීක්‍ෂණ සිදු කෙරේ.

වාහන කුලියට ගෙන ඒවා වෙනත් පුද්ගලයන්ට කුලියට ලබා දෙන මුවාවෙන් එම වාහන අලෙවි කිරීමේ සහ වාහන කුලියට ගන්නා ප්‍රසිද්ධ ආයතන රැසක්ම මේ ජාවාරම සිදු කර තිබේ.

තවද වාහන කුලියට ලබාගත් පුද්ගලයන් විශාල පිරිසක් එම වාහන හොර රහසේ විකුණා ඇති බවද මොවුන් අතරින් වැඩි පිරිසක් මෙරටින් පලාගොස් හෝ සැඟ වී ඇති බව ද පරීක්‍ෂණ වලින් අනාවරණය වී තිබේ.

පොලිස් වාර්තාවලට අනුව මේ වන විට මේ ජාවාරමට සම්බන්ධ වූ පිරිස 200 ඉක්මවයි. මොවුන් විසින් ලබා ගත් වාහන විකුණා ඇත්තේ ඒවාට ව්‍යාජ පොත් සහ ව්‍යාජ අංක තහඩු පවා සකස් කරගෙන යි.

මේ ව්‍යාජ දත්ත වලට රැවටී එම වාහන මිලදී ගත් තවත් විශාල පිරිසක් ද ජාවාරම්කරුවන්ගේ උගුලට හසු වී ඇත. මොවුන්ට මිලදී ගත් වාහනය වෙනුවෙන් යෙදූ රුපියල් ලක්‍ෂ 20, 30, 45 ආදි වශයෙන් විශාල ලෙස මුදල් අහිමි වී තිබේ.

පොලිසිය මගින් සොයා ගෙන ඇති වාහන ප්‍රමාණය ද සියය ඉක්මවයි. තවත් වාහන විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ඉහත සඳහන් පරීක්‍ෂණ අංශ පරීක්‍ෂණ මෙහෙයවයි. වාහන විශාල ප්‍රමාණයක් ගැන කිසිම තොරතුරක් නොමැත. වැඩි වශයෙන් මෙසේ විකුණා ඇත්තේ මෝටර් කාර් සහ වෑන් රථයි.

ඇතැමුන් මේ වාහන විකුණා ඇත්තේ ඔවුන් ගේ වාහනයක් අලෙවි කරන ආකාරයට පුවත්පත් දැන්වීම් පවා පළ කරමින් බව හෙළි වී ඇත. ව්‍යාජ නම් ගම් ඇතිව ව්‍යාජ හැඳුනුම්පත් තනා ඒ හරහා ගැනුම් කරුවන් විශාල රැවටීමකට ලක් කර වාහන ජාවාරම්කරුවන් එම ජාවාරම කරගෙන ගොස් තිබේ.

මේ ජාවාරම මේ වන විට වර්ධනය වෙමින් පවතින අතර වාහන කුලී ආයතන වලට ලබා දීමේ දී සහ වාහන මිලදී ගැනීමේ දී එහි නියම අයිතිය පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සොයා බැලීමෙන් අනතුරුව පමණක් ඒවා මිලදී ගත යුතු අතර අලෙවි කරන පුද්ගලයා සේල් ආයතන පිළිබඳව ද දැඩි ලෙස සැළකිලිමත් විය යුතු බවද පොලිසිය වාහන මිලදී ගන්නන්ට අවවාද කරයි.

මේ අතර වාහනයක් මිලදී ගැනීමට පෙර එහි නියම හිමිකරු පිළිබඳ අයිතිය තහවුරු කර ගැනීම සඳහා මෙතෙක් කාලයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ එවැනි සේවාවක් ඉටු නොවේ.

එවැනි සේවාවක් එම දෙපාර්තමේන්තුව තුළ පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන්නේ යම් වාහන හිමියකුගේ වාහනයට අදාල රහස්‍ය තොරතුර තවත් පාර්ශ්වයකට ලබා දීමට හැකියාවක් නොතිබීම වෙයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා