රවිඳු අත්අඩංගුවට

සියාම්ගේ ඝාතනයට

රවිඳු අත්අඩංගුවට

පැපිලියානේ නිවසක සැඟවී සිටියදී කොටු වෙයි

ඝාතනයට යොදාගත් ගිනි අවිය සොයාගෙන නෑ

පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පවසන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුතු රවිඳු ගුණවර්ධන නමැත්තා අය ඊයේ අලුයම පැපිලියාන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අංක 62 මයුර මාවත, පැපිලියාන නිවසේ රැඳී සිටියදී රහස් පොලිසිය සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් අසාබ්දීන් මොහොමඩ් සියාම් නැමැත්තා ඉකුත් මැයි මස 23 වන දින වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පාළු ප්‍රදේශයක දැමීමේ අපරාධය සම්බන්ධයෙන් අන්ද්‍රා වාස් පටබැඳි රවිඳු ගුණවර්ධන නමැත්තාටද චෝදනා එල්ල වී තිබිණ. පැපිලියාන නිවසේ සැකකරු තවත් අයකු සමඟ රැඳී සිටියදී රහස් පොලිසිය එම නිවසේ දොර කඩා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට ගාල්ල, අනුරාධපුර, නුවර, මීගමුව ඇතුළු දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි ඔහුගේ ඥාති, මිතුරන්ගේ නිවාස මෙන්ම ඔහු ගැවසෙන හෝටල් පරීක්ෂාවට ලක් කළ ද සැකකරු අත්අඩංගුවට ‍ගැනීමට රහස් පොලිසියට නොහැකි විය.

මීට ප්‍රථම ඔහුගේ දෙහිවල නිවසට ගිය අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ රහස් පොලිසියට බාධා කළ බවට ද රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.

රහස් පොලිසිය රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසට ද ඉකුත් (30) අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණ.

එම ඉල්ලීම ද සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පසුගිය 30 වන දින රවිඳු ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දැන්වීමට නියෝගයක් නිකුත් කොට තිබිණ.

අනතුරුව වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් රවිඳු ගුණවර්ධන මෙම ඝාතන සිද්ධියේ සැකකරුවෙකු නම් ඔහු අධිකරණයට බාර කිරීමට ද සූදානම් බවට විවෘත අධිකරණය හමුවේ ‍මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා සිටියහ. මෙම ඝාතනය සඳහා භාවිතා කළ ගිනි අවියද මෙතෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවට ‍කරුණු අනාවරණය වන අතර එම ගිනි අවිය රවිඳු ගුණවර්ධන විසින් ගෙන ගොස් ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.

මෙම ඝාතන සැලසුම සඳහා ලක්ෂ 30ක මුදලක් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ලබාදීමට පොරොන්දුවී ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය වේ.

මෙම මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු හෙළි වූයේ ඝාතන සිද්ධියේ පළමු සැකකරු වන ගම්මැද දඩයක්කාරලාගේ ක්‍රිෂාන්ත කෝරළගේ විසින් කරනු ලැබූ ප්‍රකාශයකට අනුවය.

ඝාතන සිද්ධියට භාවිතා කළ රථයේ තිබී තංගුස් ලණු දෙකක්, චීත්ත රෙදි කැබැල්ලක් රහස් පොලිසිය සොයා ගත් අතර එම වාහනේ තිබූ අත්ල සටහන් හා ඇඟිලි සටහන් රස පරීක්ෂක වාර්තා සඳහා රස පරීක්ෂක වෙත යොමු කොට තිබේ.

තවද එම වාහනේ මනුෂ්‍ය ලේ තිබූ බවට රස පරීක්ෂක වාර්තා පැමිණි තිබූ අතර එකී ඩී.එන්.ඒ. රටාව මරණකරුගේ ඩී.එන්.ඒ. රටාව හඳුනා ගැනීම සඳහා බොරැල්ල ජිම්ටෙක් ආයතනය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු ඔහු යටතේ සේවය කරනු ලැබූ උප පොලිස් පරීක්ෂක බමුණුසිංහ ආරච්චි ලක්මිණි ඉන්දික බමුණුසිංහ, කොස්තාපල් (51799) ආන්ද්‍රගේ සහන්චන්ද්‍ර, කොස්තාපල් (68656) ආනන් පතිරණගේ ප්‍රියන්ත සංජීව, කොස්තාපල් (61816) දිසානායක මුදියන්සේලාගේ කැලුම් රංගන දිසානායක යන අය රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ සියාම්ගේ මිතුරෙකු වන එම්. ෆවුස්ඩීන් මුතාලි‍ෆ් හා කොන්ත්‍රාත්කරු බව පැවසෙන ගම්මැද දඩයක්කාරලාගේ ක්‍රිෂාන්ත කෝරළගේ නැමැත්තන්ද දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

මෙම සැකකරුව‍න්ගෙන් කිහිපදෙනෙකු මේ වන විට අපරාධ නඩු සංග්‍රහයේ 127 වගන්ති ප්‍රකාරව අධිකරණය හමුවේ සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණ ලබාදී ඇත.

මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ නිපුන රාමනායක සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව ද රවිඳු ගුණවර්ධන මහතාට වරෙන්තු නිකුත් කොට ඇත.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ රවිඳු ගුණවර්ධන මහතා පැය 72 කාලයක් රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කෙරෙන බවට රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී රවිඳු ගුණවර්ධන මහතා සමඟ එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ දිමුතු ශ්‍රීමාල් හෙට්ටිආරච්චි යන අය අද (08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා