මවුකිරි ප්‍රවර්ධන ඒකක ඇති කිරීමේ තැතක්

සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල

මවුකිරි ප්‍රවර්ධන ඒකක ඇති කිරීමේ තැතක්

සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මවුකිරි ප්‍රවර්ධන ඒකක ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දරු ප්‍රසූතියෙන් පසු මාස හයක් ගත වන තෙක් මවුකිරි පමණක් දරුවාට ලබාදිය යුතු වුවත් මාතෘ නිවාඩුව මාස හතරකට සීමා වී ඇත.

දරුවාට මාස හතරක් හෝ පහක් ගත වූ පසු සේවයට පැමිණෙන මවගේ කිරි දෝවනය කර තැබිය හැකි ආරක්ෂිත ස්ථානයක අවශ්‍යතාව පවතින බවත් මවුකිරි ප්‍රවර්ධන ඒකකවල තබන ශීතකරණයක බහාලීමෙන් සේවය නිම කර නිවසට යන මවට තම මව්කිරි රැගෙන ගොස් දරුවාට ලබාදීමේ හැකියාව පවතින බවත් ඇමැතිවරයා කීය.

ජාතික මාතෘ හා ළමා සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇමැතිවරයා පෙරේදා (06) මේ බව පැවැසුවේය.

මේ ඒකක ස්ථාපිත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රථමයෙන්ම ආරම්භ කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

ආයතනවල පවතින නීති රාමුව යටතේ මව්කිරි ලබාදීම සඳහා දරුවා ආයතන තුළට රැගෙන ඒමේ හැකියාව නොලැබේ. ඒ නිසා මවගේ කිරි දෝවනය කර ශීතකරණයක තබා ආරක්ෂිතව නිවසට ගෙන යාමේ ක්‍රමවේදයක් වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට දරුවන්ගේ සහ මවගේ සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු සඳහා රජය කැපවී කටයුතු කරන බවත් නිරෝගීමත් අනාගත පරපුරක් බිහි කිරීම සඳහා දරුවන්ගේ පෝෂණය අතිශයින් වැදගත් වන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා