ඉංගිරිය පරෙයිතොට ‍තොටුපළ කැළි කසළින් පිරිලා

ඉංගිරිය පරෙයිතොට ‍තොටුපළ කැළි කසළින් පිරිලා

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට හා හොරණ ප්‍රාදේශීය සභා සීමාවට අයත් නම්බපාන ප්‍රදේශයේ පිහිටි ස්වභාව ධර්මයේ අගනා දායාදයක් වූ “පරෙයිතොට” නාන තොටුපළ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් නිසා ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතයට මෙන්ම පරිසරයට ද අත් වී ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබඳව හා එම තත්ත්වය අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා ඉංගිරිය නම්බපාන ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

පරිසරයට අපද්‍රව්‍ය එක්කර ඇති අයුරු.

පානදුර - රත්නපුර මාර්ගයේ නම්බපාන ගමෙන් මීටර් 200ක් ආසන්නයේ පිහිටි පරෙයිතොට නාන තොටුපළට ශිතල දිය දහර ගලා එන්නේ නාච්චිමල රක්ෂිත කඳුපෙළ අතරිනි. ප්‍රදේශයට මෙන්ම අපේ රටට ද ස්වභාවික සම්පතක් වන පරෙයිතොට අද ප්‍රදේශවාසීන්ගේ දෛනික ජීවිතයට මහත් තර්ජනයක්ව ඇත.

මේ ස්ථානය දැක බලාගෙන එහි සුන්දරත්වය විඳ ගැනීමටත් සීතල දියදහරේ පහස ලබා ගැනීමට මීට වසර කීපයකට ප්‍රථම මේ ස්ථානයට පැමිණි සුළු පිරිස වෙනුවට අද වන විට දෙස් විදෙස් විශාල පිරිසක් පැමිණීමත් ඔවුන් පරිසරයට එක් කරන ප්ලාස්ටික් වීදුරු බෝතල්, පොලිතින් ආදි අපද්‍රව්‍ය නිසාත්, ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතයට විශාල තර්ජනයක් ඇති වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

එමෙන්ම මත්වතුර, මත්ද්‍රව්‍ය මේ ප්‍රදේශයට රැගෙන විත් පානය කරමින් අශෝභන ලෙස හැසිරෙන මේ පුද්ගලයින් ප්‍රදේශවාසීන් සමඟ ගැටුම් ඇති කර ගන්නා බවද ප්‍රදේශවාසීන්ගේ නිවාස, දේපළවලට පවා හානි කරන බව ඔවුහු පවසති. අර්බුදය ඉතාමත් උග්‍රවීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

පරෙයිතොට නාන තොටුපළ
ඡායාරූප - ඉංගිරිය සමූහ

ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සිවිල් ආරක්ෂක කමිටු සාමාජික සමරනායක මහතා ඉස්සර සංචාරකයෝ ආවේ. සෙනසුරාදා, ඉරිදා, පෝය හා රජයේ නිවාඩු දිනවල විතරයි. දැන් දිනපතාම එනවා. උදේ ඉඳලා මධ්‍යම රාත්‍රිය දක්වා කෑ ගහනවා, රණ්ඩු වෙනවා. පරුෂ වචනවල කෙළවරක් නෑ. අපේ දරුවකුට මහ පාරේ යන්න විදියක් නෑ.

සංගීත භාණ්ඩ ගෙනත් බීල කෑමොර දෙනවා. බෝතල් කුඩු කරලා වීසි කරනවා. අපේ දරුවන්ට කාන්තාවන්ට නාන්න තැනක් නෑ. මේ තරම් සරු දියපහරක් තියෙද්දී අපේ ළමයි කාන්තාවන් නාන්නේ රෙදිහෝදන්නේ ළි‍ඳෙන් වතුර ඇදලා. මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ඕනෑ.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතා - ඔය කියන දේවල් පොලිසියට වාර්තා වෙලා නෑ. කලහකාරි අවස්ථාවල බීමත්ව හැසිරෙන බවට පණිවුඩ ලැබෙන සෑම වෙලාවකම අපි ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් 21ක් ඉන්නවා. ක්‍රියාත්මක වීම අඩුයි. නිතර රැස්වෙලා සාකච්ඡා පවත්වනවා නම් ගැටලු අවම කර ගන්න පුළුවන්.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා - ඉදිකර ඇති හෝටල් දෙකම අනවසර ඉදිකිරීම් බව දැන ගැනීමට තිබෙනවා. මේ හෝටල්වල කැළි කසළ අපද්‍රව්‍ය ඉවත් කරන ක්‍රමවේදය ගැන සොයා බලන්න. ඇතැම් විට ඇළට දානවා ඇති. තවත් පරිසර අධිකාරියේ අවසරය ඇත්දැයි ලියකියවිලි පරීක්ෂා කිරීමට, ප්‍රාදේශීය ලේකම්තුමියට පොලිසිය මැදිහත්වීම අත්‍යවශ්‍යයයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා