තණමල්විල කොමළිගමේ ගල්කොරියෙන් හිරිහැර

තණමල්විල කොමළිගමේ ගල්කොරියෙන් හිරිහැර

* වසර 30ක් ජීවත්වූ ඉඩම් අතහැර යන්න වෙලා
* ගල් බෝර දානකොට ගෙවල්වල ඉන්න බෑ

ජනතාවගෙන් මැසිවිලි

වසර 30කට වැඩි කාලයක් පදිංචිව සිටි ඉඩම්වල තව දුරටත් ජීවත්විමට නොහැකි තත්ත්වයක් උදාවෙලා ඇතැයි තණමල්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බෝදාගම ග්‍රාම නිලධාරි වසමේ කොමළිගමේ වැසියෝ පවසති. මේ ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල්කොරියක් නිසා මේ තත්ත්වය උදාවී ඇති බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

කොමළිගම එස්.කේ.සරදියෙස් මහතා - අපි හේන් ගොවියන්. කතරගම දේවාලයට අයත් මේ ඉඩම්වල පදිංචියට පැමිණ දැනට වසර 30කට වඩා වැඩියි. අප කිසිවෙකුට කරදරයක් නොමැතිව ජීවත් වුණේ. මේ ගම් බිම් අතහැර යන තත්ත්වයට පත්වෙලා. අපට යන්න වෙන තැනක් නොමැති නිසා දේවාලේ ඉඩම් වලට පැමිණියේ.

ඇමැතිවරයකුගේ නම භාවිතා කරලා ඉඩම මැනලා දැන් මෙතන පෞද්ගලික ගල් කොරියක් පවත්වා ගෙන යනවා. ගල් බෝර දානකොට නිවෙස් වල ඉන්න බෑ. ගල් කොරියෙන් පිටවන අධික ශබ්දය නිසා දරුවන්ට පාඩම් කරන්න බෑ.ගලක් පුපුරන අවස්ථාවක මගේ ඇ‍ගේ වැදිලා තුවාල වුණා. දැනට ප්‍රතිකාර ලබනවා. මෙම ගල් කොරිය වටා නිවෙස් 40 ක් පමණ ඉදිකරලා තියෙනවා. මේ හැමොම මෙම ගල්වළේ භීතියෙන් ජීවත් වෙන්නේ.

ඒ.ජී.කේ.ගුණදාස මහතා -මේ ගල්කොරිය නිසා පවුල් 40ක් දැනට අසරණ වෙලා. මුවන්පැලැස්ස වැව ඉස්මත්තෙ රක්ෂිතය මේ නිසා එළිකරලා දැන් වැවටත් හානි සිදුවෙනවා.ගල්කොරියේ පිටවන දුමාරය නිසා පරිසරය විනාශවෙලා.

ගල් කොරිය වටේ තියෙන නිවාසවලට ගල් බෝර දමන අවස්ථාවලදී හානි සිදුවෙනවා. ඒ වෙලාවට නිවෙස්වලින් පිටට ගොස් සිටිය යුතුයි. දැනට වසර 30ක් පමණ අපි භුක්ති වින්ද අපේ දෙපොළ අතහැර දැමීමට සිදුවෙලා. මේ ගල් කොරිය ගම මැදින් ඉවත්කරන ලෙස අප ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව මාධ්‍ය මඟින් දැනුවත් කළත් මෙතෙක් කිසිදු සාධාරණ පියවරක් ගෙන නැහැ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා