කඩචෝරු කන්න ඉස්කෝලේ ගුරුවරියන්ගේ ගෙවල්වලට පැන සල්ලි කොල්ල කාලා

අට වසරේ පුංචි හොරු තුන්දෙනෙක්

කඩචෝරු කන්න ඉස්කෝලේ ගුරුවරියන්ගේ ගෙවල්වලට පැන සල්ලි කොල්ල කාලා

* තුන්දෙනාගෙම මවුපියෝ රට රස්සාවල
* පෝරිසාදයෝ තුන්දෙනාම පරිවාසෙට

සිය පාසලේ ගුරුවරියන්ගේ නිවෙස් බිඳ භාණ්ඩ සොරාගෙන විකුණා කඩචෝරු කන්නට පුරුදුව සිටි වයස අවුරුදු දහතුනක සිසුන් තිදෙනකු කලවංචිකුඩි පොලිසිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ දරුවන්ට අගහිඟතා කිසිවක් නොමති බවට පොලිස් පරීක්ෂණ මඟින් හෙළිවී ඇති අතර මවුපිය රැකවරණය දුරස් වීම මීට හේතුව බව ‍ෙපාලිසිය විශ්වාස කරයි. මේ තිදෙනාගෙන් එක් අයකුගේ මව මියගොස් ඇති අතර පියා විදෙස් ගතව සිටී. තවත් සිසුවකුගේ මවුපිය දෙදෙනාම විදෙස් රැකියා කරති. අනෙක් සිසුවාගේ පියා පමණක් විදෙස් සේවයේ යෙදී සිටී.

මේ දරුවන් පදිරිප්පු ප්‍රදේශයේ පාසලක අට වසරේ ඉගෙනුම ලබන බව පොලිසිය පවසයි. දරුවන් තිදෙනාගෙන් එක් අයෙක් පාසල් නිවාඩු දුන් ඉකුත් දහ වැනි දා එම පාසලේම ගුරුවරියකගේ නිවෙසේ වහලයේ උළු ඉවත්කර නිවෙස තුළට බැස රන් භාණ්ඩ, මුදල් හා විදුලි උපකරණ සොරකම් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සැකකාර සිසුවා තවත් සිසුන් දෙදෙනෙකු සමඟ එක්ව පසුගිය වසරේ දෙසැම්බර් හයවැනිදා මේ අයුරින්ම වහලවල උළු ඉවත්කර තවත් ගුරුවරියන් දෙදෙනෙකුගේ නිවෙස්වලින් පවුම් විස්සක් බර රන් භාණ්ඩ, මුදල් හා විදුලි උපකරණ සොරාගෙන විකුණා මුරුක්කු කා සෝඩා බිවූ බව හෙළිකර ඇත. මේ අනුව අනෙක් සැකකාර සිසුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන සිද්ධීන් පිළිබඳ හෙළිකරගෙන තිබේ.

මේ තිදෙනා එක්ව සොරාගත් රන් පවුම් එකහමාරක් බරැති දම්වැල විකුණා ඇත්තේ රුපියල් දෙදහක් තරම් සුළු මුදලකට බව පවසා ඇත. සැකකාර තිදෙනා මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 16 දා දක්වා පරිවාස බාරයට පත්කර තිබේ. එදිනට නඩුව නැවත කැඳවීමට නියමිතය.

කලංවචිකුඩි සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහාතගේ උපදෙස් මත කලවංචිකුඩි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා‍ෙග් මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා, කොස්තාපල්වරු වන 67764 චමින්ද, 67714 මධුශාන්, 59431 බණ්ඩාර, 5182 සොයිසා හා කාන්තා පොලිස් කොස්තාපල් 5270 හේරත් නිලධාරීහු සහ නිලධාරිනියන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා