රජයේ ආයතනවලට කුණු බද්දක්

රජයේ ආයතනවලට කුණු බද්දක්

ලබන ජනවාරි මාසයේ සිට බදුල්ල නාගරික බල ප්‍රදේශය ඇතුළත සියලු රාජ්‍ය ආයතනවලින් බැහැර කරන කසළ සඳහා බද්දක් අය කිරීමට තීරණය කර ඇතැයි බදුල්ල නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක ගුණසේකර මහතා “දිනමිණ” ට පැවැසීය.

පාසල් ඇතුළු සියලු රාජ්‍ය ආයතන මඟින් බැහැර කරන කුණු කසළ ප්‍රමාණය අනුව මේ බද්ද අය කෙරේ. මේ පිළිබඳව බදුල්ල නාගරික බල ප්‍රදේශයේ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නගරාධිපතිවරයාගේ සහ බදුල්ල නාගරික කොමසාරිස් ඥානා රත්නායක මහත්මියගේ ප්‍රධානත්ව‍ෙයන් පසුගියදා පැවැත්විණි.

දිරන සහ නොදිරන කසළ වෙන්කර ලබාදෙන ආයතන වලින් අය කරන ගාස්තුව හරි අඩකින් අඩුවන අතර දිරා නොයන කසළ පමණක් ලබා දීමේ දී අය කරනු ලබන්නේ මුළු ගාස්තුවෙන් හතරෙන් එකක් බවත් එහිදී තීරණය කෙරිණි.

මීට අමතරව නගරයේ මහා පරිමාණ ‍හෝටල් වලින් බැහැර කරන කැලි කසළ වෙනුවෙන් රුපියල් 500 සිට රුපියල් 8000 දක්වා ප්‍රමාණය අනුව කසළ බද්දක් අය කිරීමට ද මෙහිදී තීරණය විය. මහ නගර සභා ආඥා පනත යටතේ ස්ථාපිත කර ඇති අතුරු ව්‍යවස්ථාවට අනුව නගර සභාවට පැවරී ඇති බලතල අනුව මෙම කසළ එකතු කිරීමේ බද්ද පැනවීමට නගර සභාව තීරණය කළ බව නගරාධිපති උපාලි නිශ්ශංක ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් ක‍‍ළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා