මං නිර්මාණ කරන්නේ ගැමි අත්දැකීම්වලින්

මං නිර්මාණ කරන්නේ ගැමි අත්දැකීම්වලින්

- බන්ධුල ආර්.ගුලවත්ත

ගම්පහ මින්සර සමස්ත ලංකා අත්පිටපත් තරගයෙන් පළමු ස්ථානයට පත්වූ ‘මහඉඩම’ නවකතා සංග්‍රහය රචනා කර ඇත්තේ දිනමිණ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු හා ප්‍රකට ග්‍රන්ථ රචකයකු වන බන්දුල ආර්. ගුලවත්ත විසිනි. ලේඛකයා විසින් මීට පෙරද නවකතා, කෙටි කතා ග්‍රන්ථ හා තවත් කාලීන පොත් රැසක් රචනාකර තිබේ. මේ සම්මානලාභී මහඉඩම නව කතාව එහි තේමාව සහ කාලීන සාහිත්‍ය කරුණු පිළිබඳ බන්දුල ආර්. ගුලවත්ත සමඟ කළ සංවාදයකි.

* ඔබ ලියූ බොහෝ පොත්පත්වල මූලික තේමාව බවට පත්වෙලා තිබෙන්නේ ගමයි. ගම තේමා කරගත් ග්‍රන්ථ රචනයට උනන්දු ඇයි?

මම ගමේ උපන්න, ගම මුල්කර ගෙන ජීවිතය ගත කළ කෙනෙක්. කුඩා කාලයේ සිටම මගේ ජීවිතය ගෙවිලා ගියේ හොරණ ප්‍රදේශයේ ගැමි ජීවිතය ආශ්‍රිතවයි. මා කෘති රචනයේ නියැළෙන්නේ මගේ ඒ ගැමි අත්දැකීම් විහිදා දැක්වීමක් විදිහටයි. මගේ සාහිත්‍ය ජීවිතයට මූලික කරගත්තේම රයිගම් කෝරළයේ ගැමි අත්දැකීම් කර ගෙනයි. ඇත්තෙන්ම හොඳ සාහිත්‍යවේදියකුට ගම තරම් තම වස්තු බීජයක් සකසා ගැනීමට වෙනත් තැනක් ඇතැයි මා නම් සිතන්නේ නැහැ.

* “මහඉඩම” සාහිත්‍ය කෘතියේ මූලික තේමාව පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

සමාජය තුළ මුල් බැසගෙන ඇති ප්‍රමුඛම කාරණයක් තමයි ඉඩම් නඩු. මේවා දීර්ඝ කාලයක් ඇදීයන නඩු. මම කාලයක් සමථ මූල මණ්ඩලයේ රාජකාරි කළා. මම ඒ කාලයේදී විශාල අත්දැකීමක් ලැබුවා. ඒ ලැබූ අත්දැකීම් ගැන දිගුදුර විපරමක් තමයි ‘මහ ඉඩම’ කෘතිය මඟින් සිදු කර තිබෙන්නේ. මට බොහෝ අවස්ථාවලදී අවුරදු හතළිහ, පනහ පරම්පරා, දෙක තුන ඉඩම් නඩුවලට පැටලුණු අය සිටි බව අවබෝධ වුණා. පසුකාලීනව ඇති වූ සම්ප්‍රදායක් තමයි මහ ඉඩම් වෙන්දේසි ඉඩම් බවට පත්වීම.

මේ මඟින් ගමේ සාම්ප්‍රදායික ගැමි ජීවිතයත්, ගමට පිටින් එන විවිධ සංස්කෘතිවලට අයත් අය නිසාත් යම් යම් ගැටුම්කාරී ස්භාවයක් වගේම දුරස්ථ භාවයක් මේ නිසා ඇති වෙනවා. මගේ මේ කෘතියෙන් මේ ගැන අවධානය යොමුකර තිබෙනවා. ඒ වගේම පිටින් ආපු අය ගම යටත්කර ගැනීමට විශාල ප්‍රයත්නයක නියැළෙනවා. මෙය තමයි නොසංසිදෙන අරගලයක් විදිහට ඉදිරියටම ගමන් කළේ. ඒ වගේම මා ලියූ ගම මූලික කරගත් තවත් පොතක් ‘දික්බැද්දේ අන්දරය’ නමින් එළිදැක්වීමට නියමිතයි.

* මේ පොත කියවගෙන යද්දි ඔබටම ආවේණික භාෂා ශෛලියක් දක්නට තිබෙනවා. මෙවැනි ආවේණික ශෛලියක් ඇති කිරීමට ඔබට පුළුවන්කම ලැබුණේ කොහොමද?

මම නිතරම පොත්පත් ලියද්දී මූලික කරගෙන කටයුතු කරන්නේ අන් දෙයක් නොවෙයි. මගේම ජීවිත අත්දැකීම් ප්‍රමාණයකුයි. ඒ නිසා මට පොතක් ලියද්දී අමුතුවෙන් මහන්සියක් ගන්න ඕනෑ කමක් නැහැ. මගේ අත්දැකීම් මූලික කරගෙන තමයි සියලු කරුණු සම්පාදනය වෙන්නේ.

* පොත්පත් කියවීම ගැන එදා තිබූ තරම් ඉහළ උනන්දුවක් වර්තමානයේදී දැක ගැනීමට නැහැ. එය සාහිත්‍ය කෙරේ වර්තමාන පරපුරේ ඇති උනන්දුව පහළ යාමක් විදිහටයි විශ්ලේශකයන් කියන්නේ. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කරන්න පුළුවන්ද?

මම නම් ඔබේ අදහස එහෙම්පිටින්ම පිළිගන්නේ නැහැ. එහෙත් බැලූ බැල්මට සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන එදා තිබූ සමාජ ක්‍රියාකාරීත්වය නොතිබෙන්නට පුළුවන්. ඒත් සාහිත්‍ය ගැන ඇති වූ නැඹුරුව දැන් ප්‍රකට වෙමින් තිබෙනවා. ඒත් අද එහි ඇති එක් වෙනසක් බවට පත්වෙලා තිබෙන්නේ පොත්වලට අමතරව වෙනත් මාධ්‍ය ඔස්සේද සාහිත්‍ය කරණය රසවිඳීමට යොමුවීමයි. ඒ නිසා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් අනාගතයේදී ඇතිවෙන්න පුළුවන් සාහිත්‍ය කලාවට අවශ්‍ය පසුබිම සකස් කිරීමේදී ජන මාධ්‍යවලට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

* ඔබ හිතනවාද සාහිත්‍ය කලාවට ජනමාධ්‍ය මඟින් ලැබෙන පිටිබලය ප්‍රමාණවත් කියලා?

පුවත්පත් මඟින් විශාල පිටිබලයක් හා ශක්තියක් සාහිත්‍ය කලාවට හිමිවෙලා තිබෙනවා. සාහිත්‍ය කලාවට අතහිත දීම මඟපෙන්වීම හා සාහිත්‍ය කලාවට ඉඩ ලබාදීම අතින් මුද්‍රිත මාධ්‍ය විශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා. විද්යුත් මාධ්‍ය මඟින් ලැබෙන සහාය ප්‍රමාණවත් තලයක නැහැ. සාහිත්‍ය කලාව එක්තරා සීමාවකට එක්තරා පිරිසකට සීමා වූ කලාවක් විය යුතු නැහැ. ජනප්‍රිය අංගයක් බවට පත්වීම ‍ තමයි විය යුත්තේ. එමඟින් තමයි සාහිත්‍ය කලාව තුළ නව ප්‍රබෝධයක් ඇතිවීමට ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ.

* පොත් එළිදැක්වීමේ උත්සව එදා එතරම් සුලභ දෙයක් වුණේ නැහැ. ඒත් අද මේ උළෙල ඉතාමත් සුලභ දෙයක් බවට පත්වෙලා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

පොතක් පිට කිරීම කියන්නේ විශේෂ අවස්ථාවක්. මේ විශේෂ අවස්ථාව පාඨකයා අතරට රැගෙන යාමට විශේෂ අවස්ථාවක් තිබිය යුතුයි. පොත් එළිදැක්වීමේ උ‍ෙළලක් කියන්නේ එවැනි විශේෂ මොහොතක්. ඒ වගේම ලේඛකයාත් පාඨකයාත් ළඟ සබඳතාවක් ගොඩනඟා ගැනීමටත් මේ අවස්ථාව විශාල පිටුවහලක්. කිසියම් ප්‍රචාරක අවස්ථාවක් විදිහටත් පොතක් එළිදැක්වීමේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්.

* දීර්ඝ අත්දැකීම් ඇති සාහිත්‍ය ලේඛකයකු විදිහට අලුත් පරපුර ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

අපේ අලුත් පරපුර තුළ දක්ෂතා ඇති පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතා එක් එක් අංශ ඔස්සේයි ඉදිරියට ගිහින් තිබෙන්නේ. ඒ නිසා ජ්‍යෙෂ්ඨයන් විදිහට ඔවුන්ගේ ගමන් මඟ අගය කළ යුතුයි වගේම ඔවුන් තුළ අඩුපාඩුවක්, දුර්වලතාවක් ඇත්නම් එය නිවැරැදි කිරීමට කටයුතු කළ යුතුයි. අපේ පරපුර හා අලුත් පරපුර අතර භාෂා පිළිබඳ සම්ප්‍රදාය පිළිබඳ යම් දුරස්ථභාවයක් තිබෙන්නට පුළුවන්. නව තාක්ෂණයද සාහිත්‍ය කරණයට ළංවීම තුළ අලුත් පරම්පරාවට හොඳ ඉඩක් ලැබිලා තිබෙනවා. ඒ නිසා අපට කියන්න බැහැ පැරැණි පරපුර හොඳයි අලුත් පරපුර නරකයි කියලා. අප කළ යුතුව තිබෙන්නේ මේ පරපුරවල් දෙකේම හොඳ ලක්ෂණ ගෙන සාහිත්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට වැඩපිළිවෙළක් සකස් කිරීමයි. සාහිත්‍ය අංශය දියුණුවීම කියන්නේම රටක ඉදිරි ගමනටත් රටේ දියුණුවටත් සැලසෙන හොඳ පිටිවහලක් ලෙස හඳුන්වන්න පුළුවන්.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා