සහශ්‍ර සංවර්ධන අභියෝග ජය ගැනීමට ප්‍රබල හඬක්

සහශ්‍ර සංවර්ධන අභියෝග ජය ගැනීමට ප්‍රබල හඬක්

හැත්තෑහත් දෙනාගේ කණ්ඩායම හෙවත් ජී-77 සමුළුවේ 50 වෙනි සංවත්සර සැසි වාරය බොලීවියාවේ ධනවත්ම නගරය හා දෙවන විශාලම නගරය වන සැන්ට්‍රා කෲස්හිදී මේ දිනවල පැවැත්වෙයි. ජී-77 ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සමුළුවට සහභාගි විය. සමුළුව ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර සභාපතිත්වය දරනු ලබන්නේ සත්කාරක රාජ්‍ය වන බොලීවියාවේ ජනාධිපති ඉවෝ මොරලස් මහතාය.

බොලීවියානු උප ජනාධිපති ඇල්වරෝ ගාසියා ලිවේරා වෙතින් සම්මාන ලබන ජනපති මහින්ද රාජපකෂ

ජී-77 ආරම්භක සාමාජික සංඛ්‍යාව අනුව එය මෙනමින් හැඳින්වූවද මේ වනවිට එහි සාමාජික සංඛ්‍යාව රටවල් 133කි. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් අතරින් 2/3 ක්ම එහි නියෝජනය වේ. භූමි ප්‍රමාණය හා ලෝක ජනගහනය අනුව බැලුවද එම නියෝජනය සුවිශේෂී එකකි.

ලොව උතුරු අර්ධයේ රටවල් ලෙස හැඳින්වෙන ධනවත් රටවල් හා දකුණු අර්ධයේ රටවල් ලෙස හඳුනාගන්නා අඩු දියුණු රටවල් අතර විෂමතාව සැළකිල්ලට ගනිමින් දකුණු දකුණු සහයෝගිතාව වර්ධනය කිරීම අරබයා මෙවැනි එකතුවක් නිර්මාණය කර ගැනිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන්නා වූ එම සාමාජික රටවල සාමුහික ආර්ථික අභිලාෂයන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඒකාබද්ධව කේවල් කිරීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුකිරීම එහි අපේක්ෂාව හා අරමුණු විය.

ජිනීවා හි දී 1964 ජූනි 15 වැනිදා ජිනීවා හිදී පැවැති UNCTAD හෙවත් වෙළෙඳාම සහ සංවර්ධනය උදෙසා වන එ.ජා. සමුළුවේ දී ජී-77 එකතුව නිර්මාණය කරගැනීම සිදුවිය. එහි පළමු ප්‍රධාන රැස්වීම 1967 ඇල්ජීයර්ස් හිදී පැවැත්විණි. “ඇල්ජියර්ස් ප්‍රඥප්තිය” මත පදනම් වෙමින් මේ එකතුව සඳහා ස්ථාවර ආයතනික ව්‍යුහයක් ගොඩ නඟා ගැනිණි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුනෙස්කෝව, එ.ජා. පරිසර වැඩසටහන, වොෂින්ටනය කේන්ද්‍ර කරගත් 24 දෙනාගේ කණ්ඩායම ආදී සංවිධානවල පාර්ශ්වකරුවෙක් ලෙස ද ජී-77 ක්‍රියාකරයි. ජී- 77 බිහිකිරීමට තුඩු දුන් UNCTAD සමුළුවේ දී නිකුත් වූ ඒකාබද්ධ ප්‍රකාශනය චීනයේ ද දායකත්වය ඇතිව නිකුත් විය.

ජී-77 හැඳින්වීමේ දී පවා ජී-77 සහ චීනය යනුවෙන් එකට යෙදේ. කෙසේ වූව ද චීනය, ජී-77 සාමාජිකයකු නොවේ. එහෙත් මේ දිනවල බොලිවියාවේ දී පැවැත්වෙන සමුළුවේ දී ජී-77 අරමුණු සාධනය කරගැනීම පිණිසත් විශේෂයෙන් ලතින් අමෙරිකා කලාපයේ සුබසෙත පිණිසත් සිය දායකත්වය ලබාදෙන බව චීනය ප්‍රකාශ කර තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහය තුළ ඇති සාර්ථක උප ප්‍රවේශ කණ්ඩායමක් ලෙස ජී-77ට පිළිගැනීමක් ඇතිවී තිබේ. සාමාජික රටවලට බලපාන්නා වූ විවිධ සමාජ දේශපාලන ආර්ථික කාරණා හමුවේ එක් හඬක් නැඟීමට ජී-77 එකඟ වී සිටී.

ජී 77 සමුළුව 2014

සංවර්ධනය වෙමින් පවත්නා රටවලට බොහෝ විට පොදු ගැටලුවක් වන දිළිඳුකමට එරෙහිව සටන් කිරීම ජී-77 ආරම්භයේදී ද අවධාරණය කෙරුණු අතර ඊට ඇති වැදගත්කම අදටද එසේමය. එ.ජා. සහශ්‍ර සංවර්ධන ඉලක්ක (MDG) 8 අතරින් දිළිඳුකමේ අභියෝගය ජයගැනීම ද එකකි. වසර 2015 දී 2000 වර්ෂය වනවිට පැවැති දිළිඳුකම හරි අඩකින් අඩු කිරීමට ඉලක්ක කෙරුණ ද තවමත් එය අසලට හෝ ළඟාවීමට ‍ලෝකයට නොහැකි වී තිබේ. මෙවර ජී -77 සමුළුවේ දී එ.ජා. මහලේකම් බෑන් කී මූන් ද දිළිඳුකමට එරෙහිව සාමුහිකව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව යළි අවධාරණය කළේ සහශ්‍ර සංවර්ධන ඉලක්ක ලෝකයට සිහිපත් කර දෙමිනි.

මේ හැරුණුවිට මීට වසර 50කට පෙර ජී-77 ආරම්භ කරද්දී ඉස්මතු නොවූ ගෝලීය අභියෝග සමහරක් ද මේ වනවිට ඉදිරියටම පැමිණ ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදය ඉන් පුමුඛ වේ. එ.ජා. මහලේකම්වරයා ඒ බව ද අවධාරණය කර තිබුණේ එය ද සාමුහිකව ජයගත යුතු අභියෝගයක් බව පෙන්වා දෙමිනි. දිළිඳුකම පිටුදැකීම සමානාත්ම උදෙසා ක්‍රියාකිරීම, පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීම, දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට මුහුණදීම වැනි කාරණා සම්බන්ධයෙන් ලෝක නායකයන් එක්ව ක්‍රියා කළ යුතු බව මහලේකම්වරයා අවධාරණය කළද විශේෂයෙන් ලොව උතුරු අර්ධයේ රටවල් එකී සාමුහිකත්වය පිළිබඳ අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැත.

උතුරු දකුණු භේදයක් පිළිබඳ මින් අදහස් නො‍ෙකරේ. එහෙත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සම්බන්ධයෙන් සංවර්ධිත රටවල ආධාර පොරොන්දු බොහෝවිට පොරොන්දුවලටම සීමාවී තිබේ. ජී-77 සමුළුව අමතමින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමාද එම පොරොන්දු හුදෙක් වචනවලට සීමා නොකිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබිණි. මෙවර ජී-77 සමුළුවේ තේමාව වී ඇත්තේ “වඩා යහපත් ජීවිතයක් සඳහා නව ලෝක රටාවක් යන්නයි. පවතින අධිපතිවාදී ලෝක රටාවට එරෙහි විකල්පයක් බිහිවිය යුතු බව ඉන් හඳුනා ගැනී ඇත.

එහෙත්, එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයට පවා බලපෑම් කිරීමට හා ඇතැම් තත්ත්ව යටතේ එය හැසිරවීමට අධිපතිවාදී රටවල් අතළොස්සකට හැකිවී තිබීම අවධානයට ලක්විය යුතුය. මෙවර සමුළුව ඇමතූ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මු ගාබේ ද ජී-77 එකතුව සිය අභිමතාර්ථ සපුරා ගැනීම සඳහා එක්ව ක්‍රියා කළ යුතු බව අවධාරණය කර තිබිණි. මෙවර සමුළුවේ සභාපතිත්වය දරන බොලීවියා ජනාධිපති ඉවෝ මොරලස් කියා තිබුණේ එ.ජා. ආරක්ෂක මණ්ඩලය අහෝසි කළ යුතු බවයි.

එය ලෝකයේ යුද ගැටුම් දිරිගන්වන හා අවුළුවන බව ද, අධිරාජ්‍යවාදී බලවතුන්ට රටවල් ආක්‍රමණය කිරීමට හා එම රටවල ස්වභාවික සම්පත් කොල්ල කා ගැනීමට ඉඩ සලස්වන බවත් ඔහු පෙන්වා දී තිබිණි. පවත්නා ගෝලීය බලධුරාවලිය වෙනස්විය යුතු බව බොලීවියාවේ මතයයි. අන්තර්ජාතික මුල්‍ය අරමුදල වැනි ආයතන ද වෙනස් කළ යුතු බව ජනාධිපති මොරලස් පවසා තිබේ. මෙවර සමුළුවේ දී පශ්චාත් සහශ්‍ර සංවර්ධන ඉලක්ක කෙරෙහි අවධානය යොමුකරමින් එම පළමු කෙටුම්පත ඉදිරිපත් කිරීමද සිදුවිය. සමස්තයක් ලෙස මේ සියල්ලේ අරමුණ වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමයි.

එහෙත් ඒ සඳහා පවත්නා අධිපති ලෝක රටාව වෙනසට ලක් කළ යුතු වෙයි. ජී - 77 නොබැඳි ව්‍යාපාරය නම් පුළුල් එකතු හා දේශපාලන ආර්ථික හවුල්වල ප්‍රමුඛ අවධානය ඒ දෙසට ද යොමුවිය යුතුව පවතී. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙවර සමුළුව අමතමින් අවධාරණය කළේ ජී-77 රටවල පොදු අභිමතාර්ථ සාධනය කර ගැනීමට නම් වඩා අපක්ෂපාතී සාධාරණ ලෝක රටාවක් නිර්මාණය කරගත යුතු බවයි. ඒ සඳහා ජී 77 නව ජීවයකින් නැඟී සිටිය යුතු බව ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දී තිබිණ.

මෙවර ජී-77 සමුළුව අතරතුර එ.ජා. මහලේකම් බෑන්කී මූන් මහතාගේ 70 වෙනි ජන්ම දිනය සැමරීමට ද කටයුතු යොදා තිබීම විශේෂයකි. මේ සමුළුවට සමගාමීව බොලීවියාව විසින් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කරන ලද කාර්යභාරය අගයමින් විශේෂ සම්මානයකින් පිදුම් ලැබූ අතර එ.ජා. මහලේකම් බෑන් කී මූන් මහතාට විශේෂ සම්මානයක් පිරිනැමිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා