අසමජ්ජාති ආදරය කුණුහරුපයක් නොවේ!

අසමජ්ජාති ආදරය කුණුහරුපයක් නොවේ!

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් තරුණයාගේ ප්‍රථම ප්‍රබන්ධය ‘අසමජ්ජාති ආදරය’ ලෙස හඳුන්වා තිබේ. තම පරම්පරාවේ ප්‍රථම කෘතිය ලෙස ද ඔහු එය හඳුන්වයි. විශ්වවිද්‍යාලයක ආදර සම්බන්ධයක් කේන්ද්‍ර කොට ලියැවුණු මේ නවකතාව ජීවිතය ගැන නැවත සිතා බලන්නටත්; ස්ත්‍රී චරිත කෙරෙහි අනුකම්පා සහගත බැල්මක් හෙළන්නටත් අප පොලඹවයි.

නවකතාව සඳහා යොදා ඇති නව වෙළෙඳ උපක්‍රමයක් ලෙස සලකන්නට පුළුවන. ‘නම බලලයි ගන්න ඕනෑ’ යන ආදර්ශ පාඨයක් ප්‍රචාරණය විසින් ඇති කර තිබේ. එය එක අතෙකින් ආකර්ෂණයක් වන අතර තව අතෙකින් ප්‍රතිවිරෝධයක් මතු කරයි. කෙසේ වුවඅසභ්‍ය යැයි සම්මත නම්වලට, රූපවලට, පොත්වලට වැඩි ඉල්ලුමක් පවතී. එය උපක්‍රමයක් ලෙස භාවිත කොට තිබුණ ද මේ පොතෙහි කිසිදු කුණුහරුපයක් නැත. සිදුව ඇත්තේ ස්ත්‍රී - පුරුෂ සබඳතා යම් විවෘතභාවයකින් යුතුව නිරූපණය කිරීම පමණි.

කතුවරයා මූලික ලෙස සිය කතාවට පාදක කරගන්නේ විශ්වවිද්‍යාල ප්‍රේමය යි. පසුබිම සෞන්දර්ය විශ්වවිද්‍යාලය යි. විශ්වවිද්‍යාල ප්‍රේමය තුළ අප දකින විශේෂතා කිහිපයක් තිබේ.

(I) පෙම්වතුන්ට නිදහසේ තීන්දු ගැනීමේ හැකියාවක් ඇත.

(II) යම් විවෘතභාවයක් පවතී.

(III) ලිංගිකත්වයට බර ය.

(IV) පෙම්වතුන් තුළ රැඩිකල් හැසිරීමක් දකින්නට පුළුවන.

(V) පෙම්වතුන්ගේ ගැටුම් උපරිමය දක්වා ගමන් කරයි.

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය හා ක්‍රියාකාරී බාහිර ලෝකයඅතර යම් පරස්පරයක් පවතී. සරසවි විද්‍යාර්ථියාගේ සංකල්ප, සිහින, අනාගත සැලැසුම් බාහිර ලෝකය හා ගැළපීම ඉතා අසීරු ය. විශ්වවිද්‍යාල ජීවිතයේ වීරයා බාහිර සමාජයේ දී වටිනාකමක් නැති පඹයකු වන්නට ද පුළුවන. ඇතැම්විට සරසවි ප්‍රේමයට පාදක වන ඇගැයීම් බාහිර ලෝකය විසින් ප්‍රතික්ෂේප කරනුලැබේ. මේ අනුව වසර තුනකින් හෝ වසර හතරකින් හෝ බාහිර ලෝකයට යන තරුණිය හෝ තරුණයා විශ්වවිද්‍යාල ප්‍රේමයට තිත තබති.

සරසවි ප්‍රේමයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හෝ මනින විධිමත් සමීක්ෂණයක් මෙතෙක් සිදු වී නැත. සමාජ පිළිගැනීම වන්නේ එය තාවකාලික වින්දනය සඳහා යොමු වූ ගැහැනු - පිරිමි සම්බන්ධයක් යන්න ය. මේ ගැන ඕනෑතරම් සිංදු ලියැවී තිබේ. චිත්‍රපට නිර්මණය වී තිබේ. එහෙත් මෑතකාලීන අත්දැකීම් අනුව බලන විට පෙනී යන්නේ විශ්වවිද්‍යාල පෙම්වතුන්ගෙන් වැඩි දෙනා සිය ප්‍රේමය විවාාහයෙන් කෙළවර කරගන්නා බවය. විශ්වවිද්‍යාල ප්‍රේමය විවාහයෙන් කෙළවර වුව; එම ජීවිත ගැටුම්වලින් පිරී පවතී.

මේ කතාවේ ප්‍රධාන චරිතය ලෙස සැලැකිය හැක්කේ නලින්ද ය. ඔහු සාම්ප්‍රදායික ගැමි පවුලකින් පැවත එන එහෙත් නූතනත්වය වැළඳගත් කුසලතා කිහිපයකින් සමන්විත අපූරු තරුණයෙකි. ඔහුගේ පෙම්වතිය අපේක්ෂා ය. ඇගේ පවුල විසිරී ඇත. අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගනී. ඒ අතර ඉහළ සමාජයට ප්‍රවේශවීමේ දැඩි අපේක්ෂාවක් ද ඇය තුළ පවතී. ඒ සඳහා සිය ශරීරය පූජා කිරීමට හෝ ඇය ඉදිරිපත් වන්නී ය. නලින්ද එක් ආනතියක සිටින අතර අපේක්ෂා වෙනත් ආනතියක රැඳී සිටී. එහෙත් ඔව්හු එකිනෙකාට ආදරය කරති.

භාරත ප්‍රභාෂණ

මේ නවකතාව ආරම්භ වන්නේ ඉතා සිත්ගන්නා සුලු අවස්ථා නිරූපණයකිනි. අපේක්ෂා හා නලින්ද කිසියම් රාත්‍රියක අනපේක්ෂිත ලෙස අතරමං වෙති. ඔවුනට යළි නවාතැන් වෙත යා නොහැකි ය. එම රාත්‍රිය ආරක්ෂා සහිත ව කෙසේ හෝ ගතකළ යුතුව තිබේ. ඒ හැරත් ඔවුන් අතරමං වනුයේ අගනුවර පාතාල සමාජය ඉදිරිපිටය. ඉතා අවදානම් සහගත අවස්ථාවක් මෙන් ම අතිශය සුන්දර අවස්ථාවක් ද ඔවුන් ඉදිරිපිට තිබේ. මේ මොහොතේ අපේක්ෂාගේ අරමුණ කුමක් ද? නලින්දගේ අරමුණ කුමක්ද?

ඔව්හු ගුබ්බෑයමක කාමරයක් මිලට ගෙන එහි ලැඟුම් ගනිති. ඉක්බිති පෙළගැසෙන්නේ ඔවුන් දෙදෙනා අතර මතුවන ගැටුම් ය. එකිනෙකා චෝදනා කර ගනිති. ජංගම දුරකථන පොළොවේ ගසති. හඬති. නිදි මරති. අවසන හිරු පොළොව සිප ගන්නට හෝරාවකට හෝ ‍හෝරා දෙකකට පෙර ඔව්හු එක් සුන්දර අවස්ථාවක් කරා එළඹෙති. කතුවරයා එය නිරූපණය කරන්නේ මෙලෙස ය.

“ඕ ප්‍රේමයේ මිහිරියාවෙන් ද, ආදරයේ උණුසුමින් ද, රාගයේ ලෝභයෙන් ද නලින්දගේ සිසිල් වූ ගතට ද හා ක්ෂණික ආවර්තයකින් ගැසෙමින් තිබෙනා පපුවට ද සාංසාරිකව බද්ධ වී සිටියාක් වැනි ව වැතිරී සිටියි.

“ඔයාට කැමැති දෙයක්”

අපෙක්ෂා මිමිණුවා ය.

“ඔයාට මොනවද ඕනෙ?”

“ඔයා, ඔයා විතරමයි!

ඔයාගේ මුළු ආත්මය ම”

අපේක්ෂා මෙට්ටයට තදින් තෙරපාගත් මුහුණ මදක් ලිහිල් කරමින් සෙමෙන් - සෙමෙන් කෙඳිරුවා ය.

(පිටුව 22)

කතුවරයා සියඅත්දැකීම් මනා ලෙස වචනයට නඟා ඇති බවක් පෙනෙයි. පළමු පරිච්ඡේදය පුරාවට ම ඇත්තේ මේ සිදුවීම ය. දෙදෙනා වරෙක දරුණු ලෙස වාග් ප්‍රහාර එල්ල කර ගනිති. එය මනුෂ්‍යත්වයේ ස්වාභාවය විය හැකි ය. එහෙත් ගැටුමේ කෙළවර සුන්දර ය. එයත් මනුෂ්‍යත්වයේ ස්වාභාවය විය හැකි ය.

සරසවි විද්‍යාර්ථීන්ගේ ජීවිත පිළිබඳ හරස්කඩක් දැක්වීමට ද භාරත ප්‍රභාෂණ උත්සුක වෙයි. එහිදී ඔහු පහත සඳහන් විෂයය ස්පර්ශ කරයි.

(I) සරසවියේ දේශපාලනය

(II) කැට ව්‍යාපාර

(III) සිසුන්ගේ සංවිධාන ක්‍රමවේද

(IV) බෝඩිං ජීවිතය

(V) විද්‍යාර්ථීන්ගේ පොදු දුර්වලතා

හා ශක්‍යතා

මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයැවීම්, අණකිරීම් පමණක් නොව නායකයන්ගේ ක්‍රියාකාරකම් ද මේ පොතෙහි ඇතුළත් ය. ධනපති ක්‍රමය පතුරුගසන එක්ශිෂ්‍ය නායකයෙක් පසුව ධනපති පක්ෂයකින් ම මහජන ඡන්දයට ප්‍රවේශ වෙයි. කැට ව්‍යාපාරවල නියුතු ශිෂ්‍යයෝ එසේ ලැබෙන මුදලින් බියර් ‍බොති. ගණන්හිලව් විකෘති කරති. සරසවියේ ඉතා දක්ෂ සංවිධායකයකු ලෙස කැපී පෙනෙන තත්ත්වයට පත් වූ විද්‍යාර්ථියෙක් ප්‍රේමයෙන් පරාජිත ව මහණදම් පුරයි. ඔහු වැළැක්වීමට කිසිවකුටත් හැකිවන්නේ නැත. අපේක්ෂා තම කථිකාචාර්ය සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා ගුරුතුමා කැටුව යහන් ගත වෙති. සරසවි විද්‍යාර්ථීන්ගේ ජීවිතය පිළිබඳ ඉතා සංකීර්ණ චිත්‍රයක් කතුවරයා අප හමුවේ තබයි.

“ඇකඩමික් එෆෙයාර්ස්’ නම් ප්‍රබන්ධයක් ගිය වසරේ එළි දැක්විණි. කැලිපෝර්නියාවේ විශ්වවිද්‍යාලයක සිදුවීම් මාලාවක් ඊට පාදක කරගෙන තිබේ. සමාජ විද්‍යා මහා චාර්යවරයෙක්, දානපතියෙක් හා ශිෂ්‍යයෝ පිරිසක් එහි චරිත නිරූපණයෙහි යෙදෙති. අහඹු සිදුවීම් කිහිපයක් ද සමඟ කතාවේ ගැටුම මතු වේ. මහාචාර්යවරයාගේ අසම්මත ලිංගික සම්බන්ධතා, ශිෂ්‍යයන්ගේ ආදර බැඳීම් කතාවෙන් නිරූපණය වේ. විලියම් ටයිනේ නම් මේ ලේඛකයා මිනිස් ජීවිත තුළ පවත්නා පොදු දුර්වලතා විශද කිරීමට ප්‍රයත්න දරයි. එහි වීරයන් නැත. දුෂ්ඨයන් ද නැත. ඇත්තේ පොදු මිනිසුන් පමණි. මහා පෞරුෂයකින් යුතු උගතුන් ළඟ ඇති දුර්වලතා ද කතුවරයාගේ අවධානයට ලක්ව තිබේ. එය කතුවරයාගේ ප්‍රථම නවකතාව යි. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ගේ ප්‍රථම නවකතාව ‘අසමජ්ජාති ආදරයයි” මෙහි එන ශාලිත නම් කථිකාචාර්යවරයා හොර සහතික ඉදිරිපත් කොට තනතුරු ලබන්නෙකි. ඊළඟට ඔහු තම වෘත්තීය ගරුත්වය පසෙක ලා අපේක්ෂා සිය වසඟයට ගනී. ඇයට බොරු පොරොන්දු දී නාස්ති කරයි. මේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඇත්ත මිස; නැත්ත නො වේ.

“ඇකඩෙමික් එෆෙයාර්” කෘතිය හා “අසමජ්ජාති ආදරය” නවකතාව නිරූපණය අතින් සමගාමී වන අවස්ථා කිහිපයක් තිබේ.

(I) ජනප්‍රිය හා ප්‍රබල චරිතවල පොදු දුර්වලතා දැක්වීම

(II) ලිංගික අවස්ථා නිරූපණයේ දී යථාර්ථවාදී වීම

(III) වීරයන් හා දුෂ්ඨයන් ප්‍රතික්ෂේප කොට පොදු මිනිස් චරිත ගොඩනැඟීම

ඉහත ලක්ෂණ තුන ම හඳන්වාදිය හැක්කේ මනුෂ්‍යත්වය විග්‍රහ කිරීමේ දී යොදාගත් වෙනස්කම ක් ලෙස ය. මිනිසාගේ හා ගැහැනියගේ යථා ස්වාභාවයට මේ මාර්ග ඔස්සේ ළංවිය හැකි බවක් පෙනෙන්නට තිබේ.

“ඇකෙඩෙමික් එෆෙයාර්” කෘතියේ කතුවරයා හා “අසමජ්ජාති ආදරය” කෘතියේ කතුවරයා බරපතළ ලෙසින් දුරස්වන්නේ ආඛ්‍යාන ක්‍රමවේදය මූලික කරගෙන ය. විලියම් මායා යථාර්ථවාදය භාවිත කරන අතර තෙන්නකෝන් නැචුරලිසම් හෙවත් ‍ ස්වාභාවික වාදයට වඩාත් සමීප වෙයි. නැචුරලිසම් යන්න දර්ශනයක් ලෙස ප්‍රබන්ධ කථාවට සමීප වූයේ පසුව ය. ඊට පෙර එය නීතිය හා දේශපාලනය යන විෂයයන්වලදී මූලික දර්ශනයක් ලෙස භාවිත කැරිණි.

18 සියවසේ අගභාගයේ දී පමණ සාහිත්‍ය කෙරෙහි එය බලපෑම් ඇති කළේ ය. නවකතාව විෂයයෙහි ගතහොත් චරිතවල හැසිරීම් හා සිතිවිලි තත්ත්වාකාරයෙන් ගෙන ඒ අයුරින් ම ඉදිරිපත් කිරීම “නැචුරලිසම්” වල සරල අර්ථය වේ. ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ වැනි අය ද මුල් යුගයේ මේ ක්‍රමය භාවිත කළ හ. තෙන්නකෝන් දැන හෝ නො දැන ස්වාභාවිකවාදයට ළං වෙයි. ඔහු සිය චරිතවල හැසිරීම් මෙන් ම සිතිවිලි ද විනිවිදභාවයකින් යුතුව ගෙන හැර දක්වයි. එය පාඨකයාට අලුත් අත්දැකීමක් ද වෙයි.

කතුවරයා අවසන් ලෙස යම් දාර්ශනික ගැටලුවක් ද පාඨකයා වෙත ‍ෙශ්ෂ කර තබයි. එය මෙසේ ය. “ප්‍රේමය කෙතරම් දේ කියා සිටිය ද කෙතරම් දේ අසා සිටිය ද, කියා සිටීමට හෝ අසා සිටීමට හෝ නොහැකිවූ දෙයක් සෑම ප්‍රේම කතාවක ම ඉතිරි ව ඇත. සෑම පෙම්වතෙකු ද, සෑම පෙම්වතියක ද ඒ දේ කියා සිටීමට හෝ අසා සිටීමට මොහොතක් යළි කිසි දිනෙක උදාවන තුරු පෙරුම් පුරමින් බලා සිටිති”.

ප්‍රේමයට කෙළවරක් හෝ ගණිතයක් නැති බව කතුවරයා කියා සිටී. එය සත්‍යයක්දැ’යි විමැසීම පාඨකයාට භාර කරමු!

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා