ලක්ෂ 35ක් වටිනා අභ්‍යාස පොත් මැතිවරණ සමයේ බෙදාදීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න

ලක්ෂ 35ක් වටිනා අභ්‍යාස පොත් මැතිවරණ සමයේ බෙදාදීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න

මීරිගම ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරු සටන අරඹති

මීරිගම ප්‍රාදේශීය සභාව මඟින් නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර සභාවේ අරමුදලින් රුපියල් ලක්ෂ 35ක් වටිනා අභ්‍යාස පොත් මිල දී ගෙන පසුගිය මැතිවරණ සමයේ එක් අපේක්ෂකයකුගේ ප්‍රවර්ධනය වෙනුවෙන් බෙදා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වා මේ මිල දී ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම නතර කිරීමට පියවර ගන්නා ලෙස සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් හත් දෙනකු රාජ්‍ය පරිපාලන, පළාත් පාලන, පළාත් සභා හා බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතාගෙන් සහ පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.

අඩු ආදායම්ලාභී පවුල් 3500ක දරුවනට පොත් බෙදා දීමට ප්‍රාදේශීය සභාවේ බලධාරීන් ඉකුත් දෙසැම්බර් මාසයේ කටයුතු කරමින් සිටි බවත් මේ ක්‍රියාවලිය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන කරගෙන ගිය නිසා මේ පිළිබඳව දෙසැම්බර් මස 22 වැනි දින ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කිරීමෙන් පසු එදිනම මේ කටයුත්ත නවතන ලෙසට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා මීරිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට නියෝග කළ බව ද මේ ලිපියේ දැක්වේ.

එම නියෝගය අනුව එදින පස්වරු 4.00 වනවිට අභ්‍යාස පොත් ලබා ගැනීම සඳහා රජයේ විවිධ නීතිගත සංස්ථාවට කර තිබූ ඇණවුම ලේකම්වරිය විසින් අහෝසි කර ඒ බව සහකාර මැතිවරණ කොමසාරිස් වරයා වෙත දන්වා යවා අනතුරුව එදිනම යළිත් ප්‍රාදේශීය වශයෙන් මිල ගණන් තුනක් ලබාගෙන එම පොත් ප්‍රමාණය මිල දී ගෙන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 23 දෙනකු සිටියදී මන්ත්‍රීවරුන් 14 දෙනකු මඟින් පමණක් මැතිවරණ සමයේ බෙදා දී ඇති බව දැන ගත් බව ද එහි සඳහන්ය.

මේ අතර මේ මුදල ගෙවීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් ජනවාරි මස මහා සභාවේ දී විරෝධය පල කළ බවත් එම විරෝධය නොතකා බහුතර බලයෙන් සභා සම්මත කළ බවත් මෙහි දැක්වේ. ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ම. ආ. පියතිලක, මන්ත්‍රීවරුන් වන ධම්මික අත්තනායක, ලීලානන්ද ජයලත්, නෙලූම් රත්නායක, සුනිමල් සමරතුංග, ගාමිණි තෙන්නකෝන් සහ පායිස් රෂීඩ් මහත්වරුන් මේ ලිපියට අස්සන් තබා ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා