අධිවේගී වැඩබිමේ රියදුරු කපා කොටා මරා දමලා

අධිවේගී වැඩබිමේ රියදුරු කපා කොටා මරා දමලා

බුලත්සිංහල කොබවනදී යතුරු පැදියෙන් නිවෙස බලා යමින් සිටි දෙදරු පියකු මඟ හරස් කොට කඩුවකින් කපා කොටි අභිරහස් ලෙස ඝාතනය කර මහ මඟ දමා තිබිය දී බුලත්සිංහල පොලිසිය සොයාගෙන ඇත.

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ගැලහිගම කාර්යාලයේ සේවය කරන රියැදුරකු වන බුලත්සිංහල පහළ වෙල්ගම පදිංචි 37 හැවිරිදි රේනුක සම්පත් ගමගේ වන අය මෙලෙස ඝාතනය කර ඇත.

ගැලනිගම කාර්යාලයේ සිට නිවස බලා යතුරු පැදියෙන් යමින් සිටියදී කැබ් රථයක් කොබවන දෙහිගහවලදී මඟ හරස් කොට මේ ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි.

මියගිය අය එක්දරු පියකු වන අතර බිරිය සයමස් ගැබිනි කතකි. පසුගිය ජනාධිපති මැතිවරණයේදී ඔහු ප්‍රදේශයේ ප්‍රබල හිටපු ඇමැතිවරයකුගේ ආධාරකරුවෙකු ලෙසද කටයුතු කර ඇත.

කළුතර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මතුගම සහකාර පොලිස් අධිකාරී සුනිල් පියරත්න, බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති නාලක නුවන්සිරි, පොලිස් පරීක්ෂක සංජීව රන්දෙනිගල, සමීර හා කේ. කීර්තිර්තන මහත්වරු පරීක්ෂණ පවත්වති.

මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා