අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රචලිත කරන්න සිවුවැනි පේෂකර්ම මධ්‍යස්ථානය රඹුක්කනට

අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රචලිත කරන්න සිවුවැනි පේෂකර්ම මධ්‍යස්ථානය රඹුක්කනට

පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා සබරගමුව පළාත් සභාව ක්‍රියාත්මක කළ පේෂ කර්මාන්ත ගම්මාන ව්‍යාපෘතියේ හතරවන ගම්මානය පසුගියදා රඹුක්කන වල්කොටුවත්ත ග්‍රාමයේ දී ආරම්භ විය.

ග්‍රාමීය ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම, දේශීය කර්මාන්ත නගාසිටුවීම සහ දෙස් විදෙස් වෙළෙඳපොළ වෙත අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රචලිත කිරීමේ අභිප්‍රායෙන් මෙම පේෂ කර්මාන්ත ගම්මාන සංකල්පය සබරගමුව පළාත් සභාව මගින් ක්‍රියාවට නංවා ඇත.

මේ වන විට රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ නිල්වක්ක, දුණුමාල, බලංගොඩ, අලුත් නුවර යන ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් පේෂ කර්මාන්ත ගම්මාන තුනක් සබරගමුව පළාත් සභාව යටතේ සාර්ථකව ක්‍රියාත්මක වේ.

පසුගියදා රඹුක්කන වල්කොටුවත්ත ග්‍රාමයේ දී ආරම්භ වුයේ මෙම පේෂ කර්මාන්ත ගම්මාන ව්‍යාපෘතියේ හතරවන ගම්මානයයි.

එක් පේෂ කර්මාන්ත ගම්මානයක, අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක්, අත්යන්ත්‍ර රෙදි වෙළෙඳපොළක් හා පරිපාලන ඒකකයක් සබරගමු පළාත් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

එම පේෂකර්ම මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවුල් ඒකක 25ක සේවකයන් පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු වේ. එම පවුල් ඒකක සඳහා අවශ්‍ය දැනුම, පුහුණුව, යන්ත්‍ර සුත්‍ර හා අවශ්‍ය අමුද්‍රව්‍ය පළාත් සභාව මගින් නොමිලේ සැපයේ.

මෙම පවුල් ඒකක මගින් නිපදවන අත්යන්ත්‍ර ඇඳුම් දෙස් විදෙස් අලෙවියට අවශ්‍ය මග පෙන්වීම සබරගමුව පළාත් සභාව මගින් සලසා දෙනු ලබයි.

පසුගියදා රඹුක්කන වල්කොටුවත්ත ග්‍රාමයේදී ආරම්භ කළ සබරගමුව පළාතේ හතරවන පේෂ කර්මාන්ත ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හදගම, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් බී. එම්. පී. එන් බෙලිගම්මන, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ ඒ. ඩබ්. රුක්මණී ආරියරත්න සහකාර අධ්‍යක්ෂ පී. වී. ඒ. එම් පහල විතාන යන මහත්ම මහත්මී හුද එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා