ගම්පහ ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ගම්පහ ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ගැබිනි මවුවරුන් වෙනුවෙන් පැවැත්වෙන සායනවලට එම මවුවරුන් අනිවාර්යයෙන්ම සහභාගි වනවා. ළදරු සායනවලටත් මව්වරුන් ළදරුවන් සමඟ නොවරදවා සහභාගිවුවත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පොදුවේ කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමට රට පුරා පිහිටුවා ඇති ‘සුවනාරි සායනවලට කාන්තාවන්ගේ සහභාගිත්වය 40%ක් තරම් අඩු තත්ත්වයක පවතින්නේ යැයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නෙත්තාංජලි මාපිටිගම මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය එසේ පැවසුවේ ගම්පහ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රජා සෞඛ්‍ය සේවයට අදාළ සෑම ක්ෂේත්‍රයකම රාජ්‍ය නිලධාරින් හා නිලධාරිනියන්, සමෘද්ධි නිලධාරින් ඇතුළු ප්‍රජා සේවාවලට අනුයුක්ත පිරිසක් වෙනුවෙන් පැවති වැඩමුළුවක් අමතමිනි. මෙය ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේ කීවාය. වසරකට පියයුරු පිළිකාවෙන් කාන්තා මරණ දහසක් පමණ වාර්තා වෙනවා. ගැබ්ගෙල පිළිකාවෙන් ද කාන්තාවන් 800ක් පමණ මියයනවා. මෙය මහා ඛේදවාචකයක්. අප සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෑම රෝහලකම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම සුවනාරි සායන පවත්වන්නේ මෙම අවදානමෙන් කාන්තාවන් මුදාගැනීමටයි. පිළිකාවක් ඇතිවීමට ඇති අවදානම මුලින්ම හඳුනා ගතහැකියි. පූර්ව පිළිකා අවධියේදී සරල ප්‍රතිකාර මඟින් සුවකරගන්න පුළුවන්. නොමිලේ පවත්වන මෙම සායනවලට සහභාගිවීමට බියවිය යුතු නෑ. සහභාගි වන්නේ තමාගේ නිරෝගිකම තවදුරටත් සුරක්ෂිත කර ගැනීමටයි. අප ඔබ වෙනුවෙන් කරන්නේ අවදානමක් ඇත්දැයි පරීක්ෂාව පමණි. අපි සුවනාරි සායන පවත්වන්නේ විශේෂයෙන්ම අවුරුදු 35 වයසේ කාන්තාවන්ට ඇතිවන සෞඛ්‍ය තත්ත්වයන් පිරික්සීමටයි.

එනම් දියවැඩියාව, පියයුරු පරීක්ෂාව, ගැබ්ගෙල පරීක්ෂාව, බෝ නොවන රෝග තිබෙනවාද යන්න පරික්ෂාවයි. මෙම වයස 35 කාණ්ඩවල කාන්තාවන් මෙයට සහභාගිවීම වඩා වැදගත්ය. එහෙත් කනගාටුව නම් සහභාගිත්වය අඩු බවද පැවසුවාය. සෞඛ්‍ය ප්‍රවර්ධනයට අපි පුළුල් ලෙස කටයුතු කරනවා. මධ්‍යම බෙහෙත් ශාලාවල, රෝහල්වල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල පවත්වන මෙම සායනවලට බිය නොවී සහභාගිවන ලෙස මෙම පණිවුඩය ලබාදීම අපේ අපේක්ෂාව. මේ සඳහා මාධ්‍ය‍යෙන් ද යම් සහයෝගයක් අපි බලාපොරොත්තු වෙනවා.

සුවනාරි සායනවලට සහභාගිවීමෙන් තම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවෙන් ඉදිරි අවදානම් රෝගි තත්ත්වයන්ගෙන් මිදී හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබාගත හැකිවනු ඇත. එය රටට දායාදයකි. මේ වනවිට අපේ රටේ ජනගහනයෙන් 20%ක් පමණ අධික රුධිර පීඩනයෙන් පෙලෙනවා. සියයට 15%ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවෙලා.

අපේ සායනවලට සහභාගි වන කාන්තාවන්ගේ රෝගි තත්ත්වයක් අනාවරණය වුව ද එය අපි අන් අයට හෙළි නොකර රහස්‍ය භාවය ද ආරක්ෂා කර ප්‍රතිකාර ලබාදෙනවා. එබැවින් සුවනාරි සායනවලට සහභාගිවීමට කිසිම කාන්තාවක් බියවිය යුතු නෑ. ඔබ වෙනුවෙන් ඔබට සහනය ලබාදීමට අපි සැදීපැහැදී සිටින බවත් පැවසුවාය.

වෛද්‍ය විශේෂඥ ගම්පහ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ සුදත් ධර්මරත්න, කාන්තා හා ළමා වෛද්‍ය තිලක් විජේසිරි යන මහත්වරු ද අදහස් දැක්වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා