ලංගම සහ පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කරන්නැයි කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක්

ලංගම සහ පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කරන්නැයි කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක්

පසුගිය රජයේ ප්‍රවාහන ඇමැතිවරයා මේ රටේ බස් කර්මාන්තය ඉතා ඛේදනීය ලෙස පහළට ඇද දැමූ හේතුවෙන්, මේ රටේ 6000කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික බස් හිමිකරුවන් විසින් යහපාලනයක් උදෙසා මේ රජයට සහයෝගය දැක් වූ බවත්, එහෙත් කිසිඳු තැකීමක් නොකොට මේ රජයේ ප්‍රවාහන ඇමැතිවරයා ද පෞද්ගලික බස් සේවය පතුළටම ඇද දැමීමේ කටයුතු කරගෙන යන බවත්, මාර්ග අංක 135 බස් සේවයේ හිමිකරුවකු හා කිරිබත්ගොඩ මගී ප්‍රවාහන සංගමයේ ලේකම් ටී. ඒ. ගමගේ මහතා පැවසීය.

හෙතෙම එසේ පවසා සිටියේ මාර්ග අංක 154,178,150,135 යන පෞද්ගලික සේවාවේ ගමන් නවතාලමින් කිරිබත්ගොඩ මංසන්ධියේ පැවති උද්ඝෝෂණයකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ලේකම්වරයා පවසා සිටියේ මේ වන විට ලංගමය විසින් පෞද්ගලික බස් සේවාව ගිලගනිමින් සිටිනා බවකි.

ඉහත මාර්ග අංක දරන බස් සේවා ලංගමය විසින් යටපත් කර ගනිමින් දෙමටගොඩ ගුවන් පාලම යට සිට අතර මඟදී ගමනාන්ත කෙළවර දක්වා සිය බස් සේවා පවත්වාගෙන යනවා. මෙය බලවත් අසාධාරණයකි. මේ නිසා මේ මාර්ගයේ ගමන් කරනා පෞද්ගලික බස් රථ සේවය දැඩි ආදායම් ඌණතාවකට පත්ව තිබෙනවා.

පසුගිය රජය සමයේ ද ලංගමයට බස් රථ ගෙනාවා. එහෙත් අප එයට සහාය දුන්නේ කොන්දේසි සහිතවයි. මේ රජය ද බස් රථ 2000ක් ඇනවුම් කර 4000ක් ගෙනැවිත් ඇත. පසුගිය ප්‍රවාහන ඇමැතිවරයා සේම වර්තමාන ඇමැතිවරයා ද කටයුතු කරනුයේ අත්තනෝමතික ලෙසිනි.

ඩීසල් මිල අඩු කළේ ද අපගේ ඉල්ලීමක ප්‍රථීපලයක් ලෙසිනි.

ඒ පිළිබඳව අපගේ ස්තූතිය රජයට පිරිනමනවා. එහෙත් මේ වනවිට පෞද්ගලික බස් කර්මාන්තයට රජයෙන් කිසිඳු පිළිසරණයක් නැත.

ඉදිරියට ද අප දැවැන්ත ලෙස පෙළගැසී මේ මාපියාවට විරුද්ධව කටයුතු කරනවා. ලංගමය නීතියට අනුව පිළිගත් ක්‍රමයකට කටයුතු කළ යුතුයි. අප රජයෙන් ඉල්ලා සිටිනුයේ වසර 30කට අධික කාලයක සිට පවත්නා මේ සේවාව ඒකාබද්ධව කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරනා ලෙසිනි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා