දුරකතන සමාගමක නම විකුණා රු: 75,000ක් වංචා කරලා

දුරකතන සමාගමක නම විකුණා රු: 75,000ක් වංචා කරලා

දුරකතන සමාගමක මුවාවෙන් රුපියල් 75,000ක මුදලක් වංචා කළ පුද්ගලයකු මොරවක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සැකකාර පුද්ගලයා මෙසේ වංචනික ලෙස මුදල් ලබාගෙන ඇත්තේ මොරවක අතුඇළ ප්‍රදේශයේ පුද්ගලයකුගෙනි.

මේ දුරකතන සමාගමෙන් රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් හිමිවී ඇති අතර ඒ බව කෙටි පණිවුඩ මගින් දැනුම් දී ඇති බවත් එය ලබා ගැනීම සඳහා රුපියල් 70,000 ක මුදලක් බැංකුවේ තැන්පත් කරන ලෙස දන්වා ගිණුම් අංකයක් ද ලබා දී ඇත.

තවද රුපියල් 1000ක රීලෝඩ් පහක් දමන ලෙසද දැනුම් දී ඇත.

ඊට පසුව මේ පිළිබඳව කිසිම ප්‍රතිචාරයක් නැති නිසා අදාළ දුරකතන අංකයට ඔහු ඇමැතුමක් ලබාගන ඇති නමුත් එයට ද ප්‍රතිචාරයක් නොලත් ඔහු මොරවක පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කර ඇත.

මේ ගිණුම් අංකය සහ දුරකථන අංකය පිළිබඳව සොයා බැලීමට අධිකරණ නියෝගයක් ලබාගත් මොරවක පොලිසිය කළ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ මේ සැකකරු නාත්තන්ඩිය මාරවිල ප්‍රදේශයේ පුද්ගලයකු බවයි.

අනතුරුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේත් මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේ්ශබන්දු මහතාගේත් උපදෙස් මත මොරවක පොලිසියේ පො.සැ. රණතුංග (16829) සහ පො.කො. නන්දකුමාර (52606) යන නිලධාරීන් විසින් උපක්‍රමශීලීව මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මොරවක පොලිසියේ පො.සැ. කරුණාරත්න, පො. සැ. අනුර යන නිලධාරීන් විසින් කරගන යනු ලැබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා