සුළු වරදකරුවන්ට කර්මාන්ත පුහුණුව

සුළු වරදකරුවන්ට කර්මාන්ත පුහුණුව

වරදකට දඬුවමක් ලබන්නෙක් සිරගත කිරීම වෙනුවට ප්‍රජා විශෝධන ක්‍රියාවලියකට යොමුකර යහපත් පුරවැසියෙක් ලෙස පුනරුත්ථාපනය වන්නේ් නම් එය අගය කළ යුතු ක්‍රියාවලියකි.

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අඥාලාභින් ලෙස පුනරුත්ථාපනයට එක්වන පිරිස් ඉදල් නිපදවීමේ ව්‍යාපෘතියට එක්වී සිටින අයුරු . ප්‍රජා විශෝධන නිලධාරි අජිත් ජයමාන්න මහතාද මෙහි සිටියි. ඡායාරූපය - සබරගමුව සමූහ

බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාශය යටතේ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව ක්‍රියාවට නඟන මෙම වැඩසටහනේ තොරතුරු සොයා කෑගල්ල අධිකරණ සංකීර්ණයේ වැඩ බිමට ගියෙමු.

එදා යම් අයෙක් වරදකට අධිකරණයෙන් දඬුවමකට ලක්ව ආපසු ගමට යද්දී ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ලැබුණු ප්‍රතිචාර නිසාම ඔවුන් නැවත නැවතත් තවත් වරදකට ඉක්මනින් එක්වන පිරිසක් බවට පත්වී තිබුණි.

අද වරදකට අඥාලාභියෙක් වන ඔහු හෝ ඇය තම පවුලේ රැකවරණය - පෝෂණයද ලබා දෙමින් සතියකට දින දෙකක් හෝ තුනක් තම ශ්‍රමයෙන් යම් වෘත්තිය ක්‍රියා මාර්ගයකට දායක වී තමුන්ටද යම් වෘත්තීය දැනුමක් ලබාගෙන තම සහජ කුසලතාවයන් සංවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නම් එයද ඔවුන්ගේ වාසනාවක් වනු නොඅනුමානය.

කෑගල්ල ප්‍රජා විශෝධන නිලධාරී අජිත් ජයමාන්න මහතා

ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ දී මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුතුමන්ලා විසින් අප වෙත යොමු කරන අඥාලාභීන් හඳුනාගෙන ඔවුන්ගේ තොරතුරු කුසලතා අනුව පුද්ගල සැලැස්මකට ඔවුන් පුනරුත්ථපන වැඩසටහනකට යොමුකරවනවා.

මේ යටතේ අපි මොවුන් සමඟ විවිධ සමාජ මෙහෙවරයන්ට යොමුවෙනවා. ගිය වසරේ අපට එක්වූ පිරිස් සමඟ අපි සාර්ථක ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කළා. ඒ යටතේ අප ලැබූ ඵලදාවෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් රජයේ ගිණුමට එක්කිරීමටද අපට හැකිවුණා.

මේ වන විට ඉතා උසස් ප්‍රමිතියකින් යුත් ඉදල් නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මාසිකව යම් ආගමික කටයුත්තකටද එක්වන අතර අඥාලාභින්ගේ පවුල්වල සුබසාධන වැඩසටහන් පිළිබඳව දායක වෙනවා යැයිද පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා