ගෑස් කාන්දුවකින් ආජන්ටිනාවේ දස මහල් ගොඩනැඟිල්ලක් බිමට

ගෑස් කාන්දුවකින් ආජන්ටිනාවේ දස මහල් ගොඩනැඟිල්ලක් බිමට

8ක් මරුට 15ක් අතුරුදන්

ආර්ජන්ටිනාවේ ගෑස් පිපිරුමකට ගොදුරුවු දස මහල් ගොඩනැඟිල්ලේ හටගත් ගින්න නිවීමට ගිනිභටයක් ක්‍රියාත්මකව සිටින අයුරු.

ආර්ජන්ටිනාවේ තෙවැනි විශාලම නගරය වන රොසාරියෝ හි දස මහල් ගොඩනැඟිල්ලක ගෑස් කාන්දුවකින් ඇතිවූ ප්‍රබල පිපිරීමක් හේතුවෙන් අටදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 61 දෙනකු තුවාල ලබා තිබේ. නගර බලධාරින් පවසන්නේ 15 දෙනකු තවමත් අතුරුදන්ව සිටින බවය.

ගොඩනැඟිල්ල කඩා වැටීමේ අවදානමක පවතින අතර ගිනි භටයන් හා ගැලවුම් සේවකයන් සිය ගණනක් සුන්බුන් පීරමින් මේ අතරුදන්වූවන් සොයන බව නගරාධිපතිවරයා කීවේය.

පිපිරුමෙන් ගොඩනැඟිල්ලේ ඉදිරිපස කොටස් මුළුමනින්ම කඩා වැටී තිබේ.

නගර සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් සියලු සේවාවන් රාජකාරි සඳහා කැඳවා ඇත.

පිපිරුම ඇතිවූ ගොඩනැඟිල්ලේ සිට කිලෝමීටර දෙකක අර්ධ විෂ්කම්භයක පිහිටි පාසල් 11ක ළමයින් ඇතුළු පුද්ගලයන් ඉවත් කර ඇත්තේ ගොඩනැඟිල්ලේ ගෑස් සැපයුම කපා දැමීම සිදු කළ නොහැකි වූ බැවිනි.

කෙසේවෙතත් පිපිරුමේ ප්‍රබලත්වය නිසා ගොඩනැඟිල්ල කඩා වැටිය හැකි බව සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකවරයා පවසා ඇත. පිපිරුමත් සමඟ ගිනි දලු ගොඩනැඟිල්ල වෙලා ගත් බව සඳහන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා