මම ජනතා සේවයට කැපවෙලා ඉන්නේ

මම ජනතා සේවයට කැපවෙලා ඉන්නේ

මධුශංඛ කුරුප්පුආරච්චි - උඩුනුවර එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු සහඋඩුනුවර, ප්‍රාදේශීය සභාවේ වසර 10ක් මුළුල්ලේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන මේ තරුණයා මධුශංඛ කුරුප්පුආරච්චිය. ඔහු වසර 20කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ විල්සන් කුරුප්පුආරච්චිගේ පුත්‍රයාය. ඔහු මෙවර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකි. මේ එළැඹෙන පළාත් සභා මැතිවරණය පිළිබද ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

අපට ලැබුණු තොරතුරුවල හැටියට ඔබතුමාව නිර්දේශ කරලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා නේද?

ගරු ජනාධිපතිතුමා නිර්දේශ කළේ මාව නෙවෙයි, තරුණ ශක්තියත්, ජවයත්, දෙකමයි. තමන් දේශපාලනයට පිවිසෙන විට වයස අවුරුදු 20ක පමණ තරුණ වියේ සිට පැමිණි බව අමතක නොකළ එතුමා එදා මෙදා තුර රටේ පළමු පුරවැසියා දක්වා ආ ගමන මල් ඇතිරූ මාවතක් නොවෙයි.

කටු කොහොලින් යුතු මාවතකයි ආවේ. එදා එතුමන් ලද අත්දැකීම් වර්තමානයේ තරුණයන්ට ලබාදීමට එතුමා නිර්දේශ කළේ පළමුවර ජනාධිපතිවීමටත් කලින් අගමැතිව සිටියදීයි. ඒ නිසා මා කියන්නේ මා පමණක් නොවෙයි එතුමාගේ දසුනට හසුවන තරුණ නායකයන් විශාල පිරිසක් එතුමා නිර්දේශ කරලා තියෙනවා. මටත් ඒ වාසනාව ලැබුණා. එදා එතුමාට තිබුණු බාධක අද අපට නැහැ.

අප දැනගන්න කැමතියි ඔබතුමාගේ දේශපාලන ප්‍රවේශය කොහොමද වුණේ කියලා?

පාසලෙන් දේශපාලනයට. ඒ කියන්නේ මම අධ්‍යාපනය හමාර කරලා ඒ සැනින් දේශපාලනයටයි ආවේ. එතකොට මගේ වයස අවුරුදු 18 යි. මේ ගමන එන්න මට මග පෑදුණේ මගේ පියා නිසයි. මගේ දැන් වයස අවුරුදු 27 යි. මේ වනවිටත් මම උඩුනුවර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වශයෙන් ජනතා සේවයේ යෙදෙනවා.

මධුසංඛ තම පියා ගැන පැවසු තොරතුරුත් අප එකතු කොටගෙන තිබූ තොරතුරුත් අනුව මධුසංඛගේ පියා එනම් විල්සන් කුරුප්පුආරච්චි මහතා දේශපාලනයට පිවිසෙන්නේ 1987 තිබූ භීෂණ සමයේදීය.

නැසී ගිය හෙළයේ ජනප්‍රියම කලාකරුවෙකු වන විජය කුමාරතුංග මහතා පිහිට වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය එතුමාගේ පළමු දේශපාලන පක්ෂය විය. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුනුවර ආසන සංවිධායක ලෙස පත්වීම ලැබුණේ ද එතුමා තුළ තිබූ කැපවීමත් දේශපාලනමය ක්‍රියාකාරකම් ‍ෙහ්තුවෙන්ය. ඉන්පසු හේ උඩුනුවර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පත් වූයේ ද භීෂණ සමයේදීමය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වුණ විල්සන් කුරුප්පුආරච්චි මහතාද මානව හිතවාදියෙකි. ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලැබූ වැටුප තම බල ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ ශිෂ්‍යත්ව අරමුදලකට මාසිකව පරිත්‍යාග කළේ එතුමන් සතුව තිබූ ප්‍රවාහන ව්‍යාපාරයෙන් තමාට යැපීමට ප්‍රමාණවත් මුදලක් ලැබෙන හෙයින් විය යුතුය. ඔහුටම අයත් පුද්ගලික බස් රථ 18ක් සමඟ වෙනත් වාහන 68ක් තිබිණි. එමඟින් ලබන ආදායම පවා සිය දේශපාලන කටයුතුවලට වැය කිරීමට තරම් හෙතෙම පරිත්‍යාගශීලි විය.

ජනතාව වෙනුවෙන් සිදුකරන පොදු මෙහෙවරකට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවී එම ව්‍යාපෘතීන් නිම කිරීම කල්යන විට හෙතෙම ඒ මුදල් සොයා ගැනීමට සිය ව්‍යාපාරය සතු බස් රථ විකුණා දීමට තරම් ජනහිතකාමී විය. ඔහු අභාවප්‍රාප්ත වන විට ඉතිරිව තිබුණේ එක බස් රථයක් පමණි.

ජාති භේදයක් නොමැතිව සිංහල දෙමළ මුස්ලිම් පාසල් දරුවන් සඳහා නවෝද්‍යා පාසැල් තුනක් ස්ථාපිත කිරීමට හෙතෙම සමත්විය. උඩුනුවර සමුපකාරය සඳහා තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකළ එතුමා සමෘද්ධි බැංකු 9ක් උඩුනුවර පළාත වෙනුවෙන් ස්ථාපිත කළේය. මෙම පළාතේ ජනතාවගේ ආරක්ෂාව ගැන සොයා බැලූ එතුමා දවුලගල නගරයට ආසන්නව පොලිස් ස්ථානයක් පිහිටුවීමට මුල්විය.

මධුසංඛ ප්‍රශ්න පත්තරයක් වූයේ පාසල් සමයේදී ය. පාසලෙන් අස්වී දේශපාලනයට ප්‍රවිෂ්ට වුවන් සමඟ හෙතෙම මුහුකුරා ගිය වැඩිහිටියකු බවට පත් විය.

මධුසංඛ සමඟ සමීප වූ චරිතයක් වූයේ වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාය. මධුසංඛ මේ වනවිට එතුමාගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියාය. මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල වැනි පියාගේ් සමීපතම දේශපාලන මිතුරන් මධුසංඛගේද සමීපතමයන් වූහ.

මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මධුසංඛට පියෙකු වැනි යැයි පැවසුවේ ගෞරවයෙන්ය. දිලුම් අමුණුගම, එරික් වීරවර්ධන, ලොහාන් රත්වත්ත වැනි සම වයසේ දේශපාලන හිතවතුන්ට තම සහෝදරයන්ට මෙන් ආදරය කරන බව මධුසංඛ අප හා පැවැසීය.

ඔබේ පියා පාර්ලිමේන්තු දෙවනත් කළ තරමක අවේගශීලී චරිතයක්. ඔබත් ඒ අඩි පාරෙම යනවද?

පියා අවේගශීලී වුනේ අයුක්තිය අසාධාරණය හමුවෙයි. පක්ෂය රැක ගැනීමට නිතර පෙරළි කළා තමයි. මමත් ඒ වගෙම කරයි, එවැනි අවස්ථාවලදී. එතේ සාමාන්‍ය වෙලාවට පුංචි ළමයෙක් වගෙයි. තරහ ගිය වෙලාවට නම් යකෙක් වගෙයි.

හැබැයි මට තරහ හිය වෙලාවට යකෙක් වෙන්නේ නැහැ. තරහව නිවෙනකම් පහු බහිනවා. තාත්තගේ වුණත් නරක දෙයක් ගන්න මම කැමති නැහැ. තරහ ගිය වෙලාවට මම යන්නේ අම්මා ළඟට. අම්මා හරිම නිවුනු කෙනෙක්.

මෙතෙක් ආ ගමන් මග ගැන කියන්න තියෙන්නේ මොනවාද?

හෘද සාක්ෂියට එකඟව සතුටු විය හැකියි. උඩුනුවර ජනතාවට මගේ පියා කළ සේවයට වඩා යමක් කරන්න මට හැකිවුණා. හේතුව පියාගේ කාලේ රටේ තිබුණෙ කලබලකාරී වාතාවරණයක්. ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ සීමා සහිතව.

දැන් එහෙම නැහැ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වඩා යමක් කරන්න පුළුවන් අත දිග හැරලා.

විල්සන් කුරුප්පුආරච්චි

එහෙනම් ඔය ඇතැම් අය කියන්නේ ප්‍රාදේශීය සභාවල අය දූෂණ වංචා කරනවා කියලා.

මොන බොරුද? ලංකාවේ තැන් තැන්වල සුළු පිරිසක් එහෙම කලා තමයි. හැමෝම එහෙම නැහැ. ජනතාවට කරල තියන සංවර්ධනයන් අපෙන් අහන්න එපා. ජනතාවගෙන් අහන්න.

ජනතාව කියයි ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා. ගම් ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ මොන තරම් සංවර්ධනයක් ගම් ඇතුළට ඇවිල්ල ද කියලා.

ඒ නිසාද පළාත් සභාවට යන්න හදන්නේ?

අපෝ නැහැ. එහෙම පටු පරමාර්ථයකට නෙවෙයි. මම උඩුනුවර ජනතාවට ඒ ප්‍රාදේශීය සභාවේ හැම මන්ත්‍රී කෙනෙකුගෙම සහයෙන් විශාල වැඩ කරලා තියෙනවා. ඒක ජනතාව හොඳින් දන්නවා. ජනතාවත් මන්ත්‍රීවරුන්ගෙන් ආශිර්වාදයෙන් තමයි මේ ගමන යන්න හිතුවේ.

ඒ පිළිබඳ තවත් පැහැදිලි කළොත්?

දැන් මම සේවය කරන්නේ කුඩා ප්‍රාදේශීය සභාවකට. මට එයින් ටිකක් ඔබ්බට යන්න ඕනේ. ඒකට ජනාධිපතිතුමාගේ සිට කුඹුරේ හේනේ වැඩ කරන ගොවියන්, කම්කරුවන් මට ආශිර්වාද කරනවා. පළාත් සභාවට ගියාම ටිකක් ලොකු පරාසයකට ගිහින් සේවය කළ හැකියි. පළාතක් වශයෙන් මුළු මධ්‍යම පළාත ගැනම ප්‍රධාන අමාත්‍යතුමාට බලන්න වෙනවා. අනිත් අය එතුමාට සහය විය යුතුයි. අන්න ඒ තත්ත්වයට දායක වෙන්නයි මගේ උවමනාව.

පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරය ලබා ගන්න සුදුසුකමක් ලැබුණොත් භාර ගන්නවාද?

ඒ වගේ ධුරයක් ගන්න අත්දැකීම් ගොඩක් අවශ්‍යයි. අභ්‍යාසවෘද්ධ, වයෝවෘද්ධ යන දෙකම ඉහළ නායකත්වයකට අවශ්‍ය දෙයක්. දැන් බලන්න අපේ ජනාධිපතිතුමා මම වගේම පුංචියට පටන් ගත් කෙනෙක්. ඒත් පළාත් සභාවේ පළමු පස්දෙනා අතරට යන්න නම් මම තරගයක් දෙනවා.

ඒක කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස ද?

අනිවාර්යයෙන්ම පුළුවන්. උඩුනුවර ජනතාව විතරක් නොවේ. යටිනුවරත් ඒ අවට තදාසන්න ප්‍රදේශවලට මම ශක්ති ප්‍රමාණයෙන් පොදු සේවා කරලා තියෙනවා.

ඔබගේ ඉලක්කය පාර්ලිමේන්තුවට යන්න නේද?

නැහැ කියන්නේ් නැහැ. ලංකාවේ වැඩ කරපු ජන නායකයන්ගෙන් වැඩි දෙනෙක් එහෙමයි. අපේ ජනාධිපතිතුමා, රණසිංහප්‍රේමදාස ජනාධිපතිතුමා, වගේ ගොඩක් අය පුංචියට පටන් අරගෙන අදියරෙන් අදියර ගිය අය. මටත් ඕනෙ අන්න ඒ වගේ අත්දැකීම් ලබාගෙන ජනතා සේවයේ යෙදෙන්න. ජනතාවගේ හදවතට දැනෙන හොඳ සේවයක් කළොත් අපි යන්න ඕනේ නැහැ. ජනතාව අපිව ඒ ගමන යවයි. ප්‍රධාන තීරණය ජනතා තීරණයි. ඒ බව අපි දැන ගත යුතුයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා