රතුපස්වල සිද්ධියට යුද සෙබළුන් සම්බන්ධ නම් උපරිම දඬුවම් දෙනවා

රතුපස්වල සිද්ධියට යුද සෙබළුන් සම්බන්ධ නම් උපරිම දඬුවම් දෙනවා

- යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් වෙනමම පරීක්‍ෂණයක් සිදුකර එයට සම්බන්ධ යම් සෙබළෙක් වැරදිකරු වුවහොත් යුද හමුදා නීතියට අනුව උපරිම දඬුවම් ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා දිනමිණ කළ විමසීමකදී පැවැසීය.

යුද හමුදා ක්‍රමවේදයන්ට අනුව පොලිසියේ සහාය සඳහා පොලිස්පතිවරයා විසින් කළ ඉල්ලීමකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් එම ප්‍රදේශයට යුද හමුදාව පිටත්කර හැර ඇති බවත් එම ක්‍රමවේදයේ කිසිදු වරදක් සිදුවී නැති බවත් පවසන දයා රත්නායක මහතා ජනතාව සමඟ ඇතිවූ ගැටුමේදී හමුදා සෙබළකු අතින් යම් වරදක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව යුද හමුදාව විසින් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවද පැවසීය.

ලොව ඉහළම විනයක් පවත්වාගෙන යන සංවිධානය ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට ඉහළ කීර්තිනාමයක් හිමිවන බවද යුද හමුදා නීතිය උල්ලංඝනය කළ සෙබළුන්ට මරණීය දණ්ඩනය පවා ලබාදී ඇති බවද හමුදා නීතිය උල්ලංඝනය කළ සෙබළුන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින බවද පැවසූ හමුදාපතිවරයා මේ සියලු ක්‍රියාමාර්ගයන් ගනුලබන්නේ හමුදාවේ ඉහළ විනය රැකීමට බවත් යළි එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීමට බවත් දිනමිණ සමඟ පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ සියලු සිද්ධීන් දේශපාලනීකරණය කිරීම තුළින් රටේ අවුල් ඇති කිරීමටත් ජාත්‍යන්තර වශයෙන් හමුදාව අපකීර්තියට පත් කිරීමට උත්සාහ දරන බවත් පැවසූ යුද හමුදාපතිවරයා වෙනත් රටවල හමුදා සේනාංක මෙන් ශ්‍රී ලංකා හමුදාව වැරදිකරුවන් රැකීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා