රටේ දරුවන්ට ඥානය දෙන ගමන් අපේ දරුවන්ටත් සලකන්න ඕනෑ

ලේක්හවුස් ආයතනයේ සේවකයන්ගේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ත්‍යාග පිරිනමයි

රටේ දරුවන්ට ඥානය දෙන ගමන් අපේ දරුවන්ටත් සලකන්න ඕනෑ

- ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්

දේශයේ දරුවන්ගේ නැණස දල්වනවා සේම ලේක් හවුස් ආයතනයේ සේවකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ද අත හිත දීමට කවදත් පසුබට නොවන බව ලේක් හවුස් කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිලරත්න සෙනරත් මහතා අවධාරණය කළේ ය.

ලේක්හවුස් සේවක සේවකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරියටත් අවශ්‍ය කටයුතු සලසන බව ද අධ්‍යක්ෂකවරයා පැවැසීය.

ත්‍යාග ලබාගත් සිසු දරු දැරියන්ගෙන් කොටසක්. ඡායාරූප-ලලිත් සී. ගමගේ

ලේක් හවුස් ආයතනයේ සේවකයින්ගේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට මුදල් හා ත්‍යාග පිරිනැමීම වෙනුවෙන් එම ආයතනයේ ප්‍රතිපාදක අරමුදල 14 වැනි වරටත් සංවිධාන කළ උත්සවයට සහභාගී වෙමින් අධ්‍යක්ෂකවරයා මේ අදහස් පළ කළේ ය.

එම උත්සවය ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ලේක්හවුස් ආයතනයේ දී පසුගිය09දා පැවැත්වුණු අතර ලේක්හවුස් ආයතනයේ සේවකයින්ගේ 2012 ශිෂ්‍යත්වය සමත් දරුවන් 20 දෙනෙකුට රුපියල් දසදහසකට අධික මුදල් හා ත්‍යාග පාර්සල් ප්‍රදානය මෙදින සිදු කෙරිණ.

ලේක්හවුස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යටතේ අධ්‍යාපනික සඟරා රැසක් මුද්‍රණය

 කරන ප්‍රමුඛ ආයතනය බවට පත්ව ඇති බව ද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

අධ්‍යක්ෂකවරයා මෙසේ ද පැවැසීය, රජයෙන් ආධාර නොලබා අති විශාල සේවක සුබ සාධනයක් සලසන එකම ආයතනය ලේක්හවුස් ආයතනයයි. අද දිනයේ දරුවන්ට මේ ත්‍යාග සහ මුදල් ලබා දීම සඳහා අප ආයතනය සමඟ අත්වැල් බැඳ ගත්තේ අනුග්‍රාහක ආයතන කිහිපයක්.

ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අතින් සිසු දරුවකුට ත්‍යාග ප්‍රදානය කරමින්. ලේක්හවුස් සේවකයින්ගේ ප්‍රතිපාදක අරමුදලේ ලේකම්/කාණ්ඩ ප්‍රධානී සරත් මණ්ඩලවත්ත මහතාද ෙමහි සිටී.

ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා අතින් දැරියක ත්‍යාග ලබාගනිමින්

පත්තර මහගෙදර වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම පත්තර මහ ගෙදරක් යන්න සනාථ කරමින් සිංහල දෙමල හා ඉංග්‍රිසි යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරන ප්‍රමුඛ ආයතනය වන්නේ ද ලේක් හවුස් ආයතනයයි.

අප ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා මේ වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කරනවා. එතුමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්වාසය හා ආශිර්වාදයෙන් තිබෙනවා. එතුමාගේ ගමනට සුළුතරයක් එරෙහි වෙද්දී සහයෝගය දක්වන බහුතරය හමුවේ නොසැලෙන ඉන්ද්‍රකීලයක් ලෙස එම අභියෝගයන්ට මුහුණ දෙනවා.

ජනාධිපතිතුමා වරක් ප්‍රකාශ කලා යුද්ධය අවසන් කරන්න අලුත් හමුදාවක් යොදා නොගත් බව හා එතෙක් සිටි හමුදාවම තමයි යුද්ධ කොට ජය ගත්තේ කියාලා. ඒ වගේමයි අපේ ආයතනය මේ රටේ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ අධ්‍යාපන ප්‍රකාශන මේ ආයතනයේම සිටින බුද්ධිමත් සේවකයින්ගේ අනුදැන්ම යටතේ නිකුත් කරන ප්‍රකාශනයි. අපි ඉදිරියේ දීත් මේ වැඩ කටයුතු මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා.

ලේක්හවුස් සේවකයින්ගේ ප්‍රතිපාදක අරමුදලේ ලේකම්/කාණ්ඩ ප්‍රධානී සරත් මණ්ඩලවත්ත මහතා,

මෙය අපි වාර්ෂිකව සංවිධාන කරන සේවාවක්. ලේක්හවුස් ආයතනයේ සේවකයන්ගේ දරුවන් ලබා ගන්නා ජයග්‍රහණ ඇගයීමකට ලක් කිරීම අපගේ යුතුකමක් කොට සලකනවා. මේ දරුවන් පසු කළේ ජීවිතයේ පළමු කඩයිමයි. දරුවන්ගේ මාපියන්, වැඩිහිටියන්, මගපෙන්වන්නන් ලෙස අප ඔවුන් දිරිමත් කළ යුතුයි.

1999 වසරේ දී අප ආයතනයේ එවකට පැවැති කළමනාකරීත්වයත් සමඟ සාකච්ඡා කොට මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. එහි දී මුලින්ම අපි දරුවන්ට ලබා දුන් සුළු මුදල අද රුපියල් දස දහසක් ඉක්මවා තිබෙනවා.

ඒ වගේම එක් දරුවෙකුට මුදල් ත්‍යාග සමඟ ත්‍යාග 10 ක් ලබා දීමට හැකි වී තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළුව විවිධ ප්‍රතිපාදන ලබා දීමේ දී අපේ අරමුදල මේ වන විට හොඳ ස්ථානයකට පැමිණ තිබෙනවා. අපි ඉදිරි වර්ෂවල දී මේ වැඩපිළිවෙළ මීටත් වඩා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.

මෙහි දී අදහස් පළ කළ වාර්ෂික හා විශේෂ ප්‍රකාශන කළමනාකරු ඩී.එස්.ඉලේසිංහ මහතා - ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතාගේ මග පෙන්වීම මත මේ රටේ දරුවන් වෙනුවෙන් විදුනැණ, අතුරු මිතුරු, බුදු සාධු වැනි අධ්‍යාපන සඟරා රැසක් නිකුත් කරනවා.

මේ ආයතනයේ සේවකයන් වශයෙන් අපි ආඩම්බර වෙනවා අපේ දරුවන් වෙනුවෙන් සිදු කරන මේ මහඟු කර්තව්‍ය සම්බන්ධයෙන්. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ලේක් හවුස් ආයතනයේ අධ්‍යාපන සඟරා හොඳ පිටිවහලක්.

හොඳ පුරවැසියන් බිහි කිරීම සඳහා සභාපතිතුමා පුංචි දරුවන්ගේ අධ්‍යාපනයට අත හිත දීමට තීරණය කිරීම කලෝචිත බව මගේ හැඟීමයි. ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 20 දෙනෙකු වෙනුවෙන් මෙහි දී ලේක්හවුස් සේවකයින්ගේ ප්‍රතිපාදන අරමුදල මඟින් රුපියල් 5000ක් වටිනා මුදල් ත්‍යාග ලබා දුන් අතර සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමාගම මඟින් රුපියල් 5000ක් වටිනා පොත් වව්චර්, ලේක්හවුස් ප්‍රකාශන පොත් පාර්සල් ලබා දුන්නේ ය.

ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුණ මල්ලවආරච්චි මහතාගේ අනුග්‍රහයෙන් පාසල් පොත් බෑග්, ඩී.එස්.අයි ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) තෑගි වවුචර්, තිනකරන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ එස්.තිල්ලෙයිනාදන් මහතාගේ අනුග්‍රහයෙන් ඉංග්‍රිසි-දෙමළ ශබ්ද කෝෂ, රිචඩ් අභ්‍යාස ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පොත් පාර්සල්, ෆෑන් ඒෂියා බැංකුවේ අනුග්‍රහයෙන් කැප් සහ කැට, මිහිර කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදී ශිසිකා පෙරේරා මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් සිසු කෑම පෙට්ටි ත්‍යාග වශයෙන් එම දරුවන්ට ප්‍රදානය කෙරුණි.

පී.එල්. එන්. නුවන්ජිත් සිගේරා, එස්.ඒ.පී. මේධානි රත්නායක, අයි.එච්.චතුනි දිනයන, එච්.නෙත්මිණ හපුආරච්චි, ටී.ආර්.ජෝරිස් එදිරිසිංහ, එච්.ඒ.ඩී.නෙත්කළු තීක්ෂණ, එම්.පී.සී.ජනාධි ජයවීර, කේ.වී. සකුනි අංජනා කරන්දන, ඊ.ඩී. මහේෂි පූර්ණිමා, එච්.කේ. අංජනන ද සිල්වා, ජේ.කේ.දේෂානී ගමගේ, සී.චමුපති ගම්ආරිය, එම්.ඒ.නෙත්මි යුවනිකා, වී.රුවන්යා දිසානායක යාපා, ඩී.ජේ.සන්දීප් ඉලේසිංහ, ජේ.විනාත් සුදුසිංහ, වයි.ඩබ්ලිව්.ඒ. මනුරි සියාරා, එච්.ඉරන්ජනා සුදුසිංහ, එච්.එෆ්.එස්.සචිනි හංසිකා ‍ෆොන්සේකා, ජේ. අංජනා කුමාරසිංහ නැමැති දූදරුවන් කොළඹ, කෑගල්ල, ගම්පහ, මාතර, රත්නපුර, අනුරාධපුර, ගාල්ල, කළුතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල ලේක්හවුස් සේවකයින්ගේ දරු දැරියන් 20 දෙනෙකුට මේ මුදල් හා ත්‍යාග පිරිනැමිණ.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) වරුණ මල්ලවආරච්චි, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන තිනනකරන් ප්‍රධාන කර්තා එස්. තිල්ලෙයිනාදන් මහත්ම මහත්මින් ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා