උතුරේ එජාප-ජවිපෙ සාමාජිකයෝ වැල නොකැඩී ශ්‍රීලනිපයට එති

උතුරේ එජාප-ජවිපෙ සාමාජිකයෝ වැල නොකැඩී ශ්‍රීලනිපයට එති

මෙවර උතුරු පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා වැලිඔය ප්‍රදේශයේ පාරම්පරික එක්සත් ජාතික පක්‍ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ එක්දහස් අටසීයක් (1800) පසුගියදා (10) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වූහ.

වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගජබාපුර, නිකවැව (දකුණ), ඇතාවැටුණ වැව සහ කල්‍යාණිපුර යන ප්‍රදේශවල පවුල් 715 කට අයත් මෙම පිරිස පසුගියදා එම ගම්මානවල පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රැස්වීම්වලදී ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා අතින් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය ලබාගත්හ.

ඉකුත් යුද සමයේ ඇඳිවත පමණක් රැගෙන ගම් බිම් අතහැර ගිය තමන්ට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ උදාර නායකත්වය යටතේ නිදහස ලැබුණු පසු යළි ගම් බිම් කරා එන්නට හැකිවූ බවත්, එයට කෘතගුණ සැලකීමක් ලෙස මෙවර පළාත් සභා මැතිවරණයේ දී සන්ධානයට සහයෝගය ලබාදීමට තම පවුල්වල සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බවත් මීට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ගජබාපුර මියුලන් ලියනගේ මහතා පැවසීය. එමෙන්ම අසාර්ථක නායකයෙකු යටතේ එක්සත් ජාතික පක්‍ෂය මේ වන විටත් යළි බලයට පත්වීමට නොහැකි ලෙස කඩාවැටී ඇති බවත්, උතුරේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය වත්මන් රජය මගින් අද වනවිට සාර්ථකව සිදුකරන බැවින් තව දුරටත් යූ.ඇන්.පී ය වෙනුවෙන් කටයුතු කිරීම තම දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමක් ලෙස සැලකිය හැකි බැවින් ද තමන් ඇතුළු තම ගම්මානයේ සියලු එක්සත් ජාතික පාක්‍ෂිකයන් මෙලෙස රජයට එක් වූ බව ලියනගේ මහතා තවදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ ඇතාවැටුණ වැව ඒ. ඩබ්ලිව්. උපාලි බණ්ඩාර මහතා,

“ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අපි කළ සේවය පක්‍ෂයෙන් නිසි ඇගයීමට ලක් වුණේ නැහැ. අනුරාධපුරේ ලාල් කාන්ත සහෝදරයා, පොළොන්නරුවේ සුභසිංහ සහෝදරයා මම කවුද කියා දන්නවා. තව දුරටත් ඛ්ඹ්තට විරුද්ධව කටයුතු කරන්න බැරි නිසා මම අද ආණ්ඩුවට එකතු වුණා. අපි කාට කාටත් දේශපාලනය කරන්න රට නිදහස් කර දුන්නේ ජනාධිපතිතුමා යි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ බොහෝ පිරිසක් ජීවත්වෙන්නේ මනෝ ලෝකවල. නමුත් අපි යුද්දෙට මැදිවෙලා දුක් විඳපු පිරිසක් වුණත් අද සැබෑ ලෝකය දැක්කා. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් සහෝදරවරු මේ රටේ සිදුවන සංවර්ධනය ගැන කතා කරන්නේ අඳ, ගොළු, බිහිරි අය විදිහටයි.”

හෝදාපාළුවට ලක්වූ එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ගොඩගැනීමට යළි කිසිදා සාර්ථක නායකයන් බිහි නොවන බවත්, දවසින් දවස විපක්‍ෂයේ බුද්ධිමත් පිරිස් අතිගරු ජනාධිපතිතුමා නිසා රජයට එක්වන බවත්, මේ අනුව රජයට උතුරු පළාත් සභාව ජයග්‍රහණය කිරීම අපහසු නොවන බවත් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ය.

ගජබාපුර පැවති ප්‍රචාරක රැස්වීමට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ඩී. මුතුකුමාරණ, වව්නියාව ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායක ප්‍රේමරත්න සුමතිපාල, උතුරුමැද පළාත් සමුපකාර අමාත්‍ය කේ. එච්. නන්දසේන යන මහත්වරුන් ඇතුළු ගජබාපුර ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා