ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය ලොවට කියාපෑමට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය ලොවට කියාපෑමට අවස්ථාවක්

බ්‍රිතාන්‍යය අවධාරණය කරයි

වත්මන් ශ්‍රී ලංකාව ලබා තිබෙන සාර්ථකත්වය ලොවට ප්‍රකාශ කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අතිශය වැදගත් අවස්ථාවක් බව බ්‍රිතාන්‍යය අවධාරණය කරයි.

සමුළුවෙන් ලැබෙන ප්‍රතිලාභ ලක්වාසී සැමට බෙදා දෙමින් රට සමෘද්ධිමත් කිරීමට ද මෙය කදිම අවස්ථාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සාර්ථකත්වයට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා ප්‍රකාශ කරයි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කළේ මීට වර්ෂ හතරකට පෙර බව සිහිපත් කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා මීට වර්ෂ දෙකකට පෙර ඔස්ට්‍රේලියාවේ පැවැති සමුළුවේ දී එය ස්ථිර වූ බව ද සදහන් කරයි.

වසර 30 ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වලින් අනතුරුව මේ සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව පෙන්වාදෙන ජෝන් රැන්කින් මහතා ආර්ථිකමය සංවර්ධනය හා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම අතින් ප්‍රගතියක් ලබා තිබෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් 53 ක රාජ්‍ය නායකයන් දැනුවත් කිරීමට ද මෙහි දී හැකිවන බව පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍ය රජය නියෝජනය කරමින් අගමැති ඩේවිඩ් කැමරන් සහ විදේශ කටයුතු ඇමැති විලියම් හේග් මහත්වරුන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා සහභාගිවන බව සදහන් කරන ඒ මහතා මේ සමුළුවට සහභාගිවීම ඉතා වැදගත් කොට සළකන බව ද දෙවැනි එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින් චාල්ස් කුමරු ද සහභාගි බව කියාසිටී.

මේ සමුළුව පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ආයෝජන කටයුතු පුළුල් කර ගැනීමේ අවකාශ තිබෙන බව ද කලාපීය සාමාජිකයන් පමණක් නොව ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ කටයුතු කිරීමේ අවස්ථාව සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට උදාවන බව හෙතෙම පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා