රිය අනතුරු - ප්‍රථමාධාර ක්‍රම ගැන හොරණ සමෘද්ධි නිලධාරීන්ට දැනුම

රිය අනතුරු - ප්‍රථමාධාර ක්‍රම ගැන හොරණ සමෘද්ධි නිලධාරීන්ට දැනුම

මාර්ගය භාවිතා කිරීමේදි අනතුරුවීමේ අවදානම වැඩියෙන්ම ඇත්තේ පදිකයාට බවත් වැඩිපුරම අනතුරු සිදුවන්නේ රියැදුරන්ගේ නොසැලකිල්ලට වඩා පදිකයන්ගේ නොසැලකිල්ල නිසා යැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැවැසුවේය.

ගාමිණී ඒකනායක මහතා එම අදහස් පළ කළේ පසුගිය දා හොරණ සමෘද්ධි මූලස්ථානයේ පැවැති රිය අනතුරු අවම කිරීම සහ රිය අනතුරකදි නිවැරදි ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ සමෘද්ධි නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

තව දුරටත් මේ පිළිබද අදහස් දැක් වූ ඒකනායක මහතා අවිනීත රියැදුරන් වගේම අවිනීත පදිකයෝත් ඉන්නවා . පදික මාරුව අපේ නෙමෙයි . එය අපට පහසුවෙන් ගමන් කිරිමට ලබා දුන්න ස්ථානයක් පමණයි. අද පදික මාරුවේ වැඩි වශයෙන් අනතුරු සිදු වෙන්නේ පදිකයන්ගේ නොසැලකිල්ල මතයි. බොහෝ අය පදික මාරුව නිසා එකවර පාර මාරුවීමට යනවා. රියැදුරුට එකවර වාහනය නතරකර ගැනීමට නොහැකි බව සිතන්නේ නෑ. රිය අනතුරකදී පොලිසිය රියදුරන් වැරදිකරුවන් ලෙස සැලකුවත් දඩුවම් කළ යුත්තේ පදිකයන්ටයි.

කළුතර දිස්ත්‍රික්කයේ මේ වෙන කොට ත්‍රිරෝද රථ අනතුරු අඩුවෙලා . මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විදියට අපේ රටේ අවුරුද්දකට මාර්ග අනතුරු වලින් මිය යන දෙදහස් පන්සීයක පමණ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමයි අපේ යුතුකම හා වගකීම වන්නේ.

රථවාහන පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්. ඩී.පී. ධනංජය මහතා.

වාහන අනතුරු සීයක් ගත් විට ඉන් අනූනමයක්ම සිඳුව තිබෙන්නේ යතුරුපැදි වලින් වීම විශේෂයි.යුද්ධයෙන් ජීවිත අහිමි වූයේ හැත්තැපන්දහසක් වුවත් අවුරුද්දකට රිය අනතුරු වලින් මිය යන සංඛාව දෙදහසකට වඩා වැඩි වි තිබෙනවා.

ජාතික රෝහලේ හදිස්සි අනතුරු ඒකකයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය විසින් රිය අනතුරකදි නිවැරදි ප්‍රථමාධාර ක්‍රම භාවිතා කිරිම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමද සිදු කෙරිණි. ඡායාරූප-හල්තොට සමූහ

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා