උකසේ තිබූ පවුම් 88ක් ගල් කළ ගම්පොළ බැංකු නිලධාරිනිය රිමාන්ඩ්

උකසේ තිබූ පවුම් 88ක් ගල් කළ ගම්පොළ බැංකු නිලධාරිනිය රිමාන්ඩ්

ප්‍රධාන රාජ්‍ය බැංකුවක ගම්පොළ ශාඛාවේ උකස් තබා තිබූ තිදෙනකුට අයත් පවුම් 88ක් සොරාගත් එහි සේවය කරන නිලධාරිනියක ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ එම බැංකුවේ ගම්පොළ නාගරික උකස් අංශයේ සේවය කළ අමන්දා සෙව්වන්දි නමැත්තියයි. මේ බැංකුවේ උගස් තැබීමට ගෙන එන රන්භාණ්ඩ සේප්පුවේ තැම්පත් කිරීම හා උකස් ඇරවීමට එන අයගේ රන් භාණ්ඩ ගෙන දීම මේ නිලධාරිනිය විසින් සිදු කර ඇත.

තිදෙනකු විසින් රුපියල් 1312900.00කට උකස් තබා තිබූ මේ රන් භාණ්ඩ සොරාගත් ඇය එයින් කොටසක් රුපියල් ලක්ෂ 4කට නුවර නගරයේ පුද්ගලික ආයතනයකට විකුණා ඇති අතර තව කොටසක් ලක්ෂ 3කට උකස් කොට තිබේ. ඉතිරියෙන් කොටසක් පුද්ගලික බැංකුවකට අයත් කොළඹ නාරාහේන්පිට ශාඛාවේ උකස් තබා ඇති අතර තවත් මාල 4ක් හා පෙන්ඩනයක් ඇගේ නිවෙසේ සඟවා තිබියදී සොයා ගෙන ඇත.

බැංකුවේ අර්ධ වාර්ෂික අභ්‍යන්තර විගණනය සිදු කිරීමේදී මේ රන් භාණ්ඩ අඩු බව සොයා ගෙන තිබිණි. ඒ අනුව එහි කළමණාකාරිත්වය විසින් මේ පිළිබඳව රන් භාණ්ඩ භාරව සිටි ඇගෙන් විමසා ඇත.

එහිදී ඇය මෙම වංචාව සිදු කළ බවට පිළිගත් නිසා එම බැංකු විමර්ශන කණ්ඩායමක් එම නිලධාරිනියද කැටුව කොළඹ උකස් තබා තිබූ රන් භාණ්ඩ ගෙන ඒම සඳහා ගොස් තිබේ.

නමුත් අතර මඟදී ඇය පැහැරගෙන යනවායි පොලිස් හදිසි ඇමතුම් අංශය (119) වෙත දැනුම් දීම නිසා මහනුවර පොලිසියි මඟින් ඇය අතර මගදී සොයා ගෙන තිබුණි.

එහිදී පොලිස් නිලධාරීන් හට කරුණු පැහැදිලි කොට දී ඇති මෙම බැංකු නිලධාරීන් පසුව සිද්ධිය පිළිබඳව ගම්පොල පොලිසිය වෙත පැමිණිලි කොට තිබිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා