සුගතදාස පිටිය උණුසුම් කරන එෆ්.ඒ.කුසලාන අවසන් ගැටුම හෙට

බ්ලුස්ටාර් අප්‍රිකානු ක්‍රීඩකයා රටින් පිටුවහල් කරයි ?

සුගතදාස පිටිය උණුසුම් කරන එෆ්.ඒ.කුසලාන අවසන් ගැටුම හෙට

කාගිල්ස් ෆුඩ් සිටි එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා යුද හමුදාව හා කළුතර බ්ලුස්ටාර් අතර හෙට (22) රාත්‍රි 7.00ට ‍කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ‍ වේ.

අවසන් පූර්ව තරගයේදී බ්ලුස්ටාර් පිලේ අප්‍රිකානු ක්‍රීඩක මොහොමඩ් ඔපෙයිමී නාවික හමුදා ක්‍රීඩකයකුට එරෙහිව සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් 'රතු කාඩ්පත්' ලබා පිටියෙන් නෙරපීම අවසන් මහා තරගය අහිමිවීම හේතුවී තිබේ.

එම අප්‍රිකානු ක්‍රීඩකයාට එරෙහිව විනය පරීක්ෂණයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අරඹා ඇති අතර එයින් වැරදිකරු බවට පත්වුවහොත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා පිටමං කිරීමේ සුදානමක් ඇතැයිද වාර්තා වේ.

මෙරට මුල් පෙළේ තරගාවලියක් වන එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයකුගෙන් බරපතල ලෙස විනය කඩවෙද්දී ඒ පිළිබඳ දැඩි පියවරක් නොගතහොත් ක්‍රීඩාවට ඉදිරි කාලයේ තවත් අනිසි බලපෑම් ඇතිවිය හැකි බවට පාපන්දු සම්මේලනයේ අදහසවී තිබේ.

හෙට තරගයේදී යුද හමුදාවේ මොහොමඩ් ඉසෙදීන් කෙරෙහි බොහෝදෙනාගේ අවධානය යොමුව ඇත. බ්ලුස්ටාර් පිලේ ආරක්ෂක පෙළ ශක්තිමත් කරන මොහොමඩ් රමීස් බ්ලුස්ටාර් පිලේ කැපී පෙනෙන ක්‍රීඩකයකු බව විචාරක මතය වේ. එබැවින් අවසන් පූර්ව තරගයේදී ගෝල් දෙකක් වාර්තා කරමින් ජය මාවතට පිවිසි ඉසෙදීන්ට එරෙහිව රමීස්ගේ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය අතර උණුසුම් මුහුණුවරක් නිර්මාණය වනු ඇත. අවසන් පූර්ව තරගයේදී නාවික හමුදාවට එරෙහිව ප්‍රබල දක්ෂතා දැක්වු බ්ලුස්ටාර් 'ගෝල් කීපර් මංජුල කුමාර මේ අවසන් තරගයේදී දක්වන දක්ෂතා පිළිබඳව කාගේත් කතාබහට ලක්ව ඇත. බ්ලුස්ටාර් පිලට ජය තහවුරුවීමේදී මංජුල කුමාර නාවික හමුදාවේ දඬුවම් පහර දෙකක් ආරක්ෂා කළ අයුරු ප්‍රශංසනීය ‍විය. එම තරගයේදී බ්ලුස්ටාර් ආධාරකරුවේ මංජුල කුමාරව ඔසවාගෙන ප්‍රීති ඝෝෂා නැගූහ.

යුද හමුදාවේ ප්‍රහාරක බලඇණියේ ක්‍රීඩා කරන සජිත් කුමාර, මුෂින් සිල්වා මෙන්ම ආරක්ෂක කළාපයේ සිටින නායක බණ්ඩාර වරකාගොඩ, උදය කීර්ති බ්ලුස්ටාර් පිලට තර්ජනයක් වන ක්‍රීඩකයෝය.

කළුතර පිල එෆ්.ඒ.පාපන්දු ශූරතාවක් දිනා නොමැති හෙයින් මේ අවසන් තරගය ජයගැනීම විශාල බලාපොරොත්තුවක් වී තිබේ.

නයිජීරියානු ජාතික ප්‍රහාරක ක්‍රීඩක ඩැනියෙල් ජොසෙඩී බ්ලුස්ටාර් සතු භයානකම ක්‍රීඩකයා වේ. ඔහු සතු කායික ශක්තිය හා ඉහළ තාක්ෂණය නොසිතු මොහො‍තක යුද හමුදාවට තර්ජනය ගෙනදීමට සමත්ය.

එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේදී බ්ලුස්ටාර් පිල යන යන තැන කළුතර ප්‍රේක්ෂකයෝ තුන්දහසක් පැමිණ තරග නැරඹීම අගය කළ යුත්තකි. එය හෙට තරගයේදී පන්දහස ඉක්මා ගොස් සුගතදාස පිටියට උණුසුම් වාතාරණයක් එක්කරනු ඇතැයි සැලකේ‍.

නරඹන්නන්ගේ උනන්දුව හා උණුසුම වැඩිවන හෙයින් ක්‍රීඩකයන් සිටින ක්‍රීඩාගාර දෙක ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයෙන් වෙනත් ස්ථානයකට ගෙන යෑමට සංවිධායකයෝ පියවර ගෙන ඇත. තරගයට පෙර හා තරග විවේක කාලයේදී රැදී සිටින ක්‍රීඩකයන්ට සිදුවන බාධා වැළක්වීම එහි අරමුණවී ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ආරාංචි මාර්ග පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා