රංගම්මුල්ල එක්සත්-මුදුකටුව පාතිමා උදම්විට ගාමිණී-හේනමුල්ල ජයමාලී සටන් බිමේ

දැයට කිරුළ එල්ලේ අවසන් තරග වටය

රංගම්මුල්ල එක්සත්-මුදුකටුව පාතිමා උදම්විට ගාමිණී-හේනමුල්ල ජයමාලී සටන් බිමේ

දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය මෙහෙයවන තරගාවලියේදී රංගම්මුල්ල එක්සත් හා මුදුකටුව පාතිමා අතර තරගයත්, උදම්විට ගාමිණී හා ‍හේනමුල්ල ජයමාලී අතර තරගයත් මේ 23දා වෙන්නප්පුව ඇල්බට් එෆ්.ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දැයට කිරුළ එල්ලේ 40 තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක මෙය වන අතර එදිනම සවස අවසන් තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. කාන්තා කණ්ඩායම් 91ක් සහභාගීවු උණුසුම් තරගවටයේ අවසන් තරගයද එදින පැවැත්වීමට සංවිධායකයෝ පියවර ගෙන ඇත.

දැයට කිරුළ එල්ලේ 40 තරගවාලියේ පිරිමි කණ්ඩායම් 406ක් තරග වැදුණු අතර ඒවා දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කර තිබුණි. ජයග්‍රාහී කණ්ඩායම්වලට රුපියල් ලක්ෂයකට අධික තෑගි මුදල් හා වටිනා කුසලාන පිරිනැමීමට කටයුතු යොදා ඇත.

දැයට කිරුළ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ජාතික ශූරතාවලිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය වසරට වඩා වැඩි එල්ලේ කණ්ඩායම් ප්‍රමාණයක් මෙවර ජාතික ශූරතාවලියට එක්වනු ඇතැයි පැවැසේ.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරාධනාවෙන් විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා දැයට කිරුළ එල්ලේ අවසන් තරගවල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා