දස ලක්ෂයක හිමිකරු වූ ගොවියා දරුමල්ලන් අතැර ගමෙනුත් පිට වූවා

දස ලක්ෂයක හිමිකරු වූ ගොවියා දරුමල්ලන් අතැර ගමෙනුත් පිට වූවා

පනස් නව හැවිරිදි ගොවියකු වන ඔහු දරු පවුල රැක ගත්තේ කුඹුරු හා හේන් වගා කරමිණි. තිස් වසරක විවාහ දිවියේ සැමියාගේ සෙවණැල්ල සේ ඔහු සමඟ හරි හරියට වගා බිමේ දහඩිය වැගුරූ බිරිඳ දරුවන් පස් දෙනෙකු ලොකු මහත් කිරීමට අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවක් වින්දාය.

නැති බැරිකම මතුවෙද්දී සැමියාත් බිරිඳත් නොහොඳ නෝක්කඩු වූවද දෙන්නා වෙන්වන තරමේ ගැටුමක් කිසි විටෙක ඇති නොවිණි.

පසුගිය දිනෙක සැමියාට ලොතරැයියක් ඇදී ඔහු දස ලක්ෂපතියෙකු බවට පත්විය. මෙයින් මහත් සතුටට පත් බිරිඳ, “අපි දුක් වින්ද කාලය ඉවරයි” යනුවෙන් සිතුවාය. විවාහ වී සිටින දරු තිදෙනාත්, අවිවාහක දරුවෝ දෙදෙනාත් දහසක් පැතුම් හදවත් තුළ රඳවා ගත්හ.

එහෙත් මුදල් ලැබීමත් සමග අමුතු මිනිසෙකු බවට පත්වූ සැමියා මුදල් බැංකුවේ තැන්පත් කර මිතුරන් සමග සිත් සේ කා බී ප්‍රීති වන්නට පටන් ගත්තේය. ඔහුට දැන් බිරියත් දරුවනුත් පෙනෙන්නේ වහකදුරු ලෙසිණි.. මේ නිසා පවුලේ අලුත් ප්‍රශ්න මතුවන්නට විණි..

සැමියා දශ ලක්ෂපතියෙකු වී හරියටම ගතවූයේ දින විස්සක් පමණි. ඔහු නිවසින් අතුරුදන් විණි. බිරිඳ හා දරුවන් ඔහු පිළිබඳ සොයා බැලීමේදී ආරංචි වූයේ ඔහු සල්ලි මිටියත් රැගෙන ගොස් මහනුවර ප්‍රදේශයේ නෑදෑ ගෙදරක කා බී විනෝද වන බවය.

රුපියල් දශ ලක්ෂයක ලොතරැයියක් ඇදුණු පස් දරු පියෙක් බිරිඳ හා දරුවන් අතහැර නිවසින් පලා යාමේ මේ පුවත වාර්තා වන්නේ අනුරාධපුර උප නගරයකට ආසන්න ගොවි ගම්මානයකිනි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා