මුල් මාස 10දී අැ. ඩො. මි. 1789ක ව්‍යාපෘති 144කට අනුමැතිය දුන්නා

මුල් මාස 10දී ඇ. ඩො. මි. 1789ක ව්‍යාපෘති 144කට අනුමැතිය දුන්නා

 ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ගතවූ මාස 10 තුළ අමෙරිකා ඩොලර් මිලියන 1789 ක් වටිනා ආයෝජන ව්‍යාපෘති 144කට අනුමැතිය ලබාදුන් බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කෙළේය.

දිවා විවේකයෙන් පසු නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර මරුගේසු මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 සභාව යළි රැස්විය‍ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්වර්ධන අමාත්‍යාංශය හා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැණින.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (එජාප):- සාමය උදාවෙලා තිබෙන මේ යුගයේ අපේ රට ආයෝජනය හොඳයි. අපේ රටේ ආර්ථි වේගය සියයට 7.2ක මට්ටමක පවතිනවා කියා ආණ්ඩුව කියනවා. එහෙමනම් අපේ රටේ රැකියාවල වැටුප් 50,000ක තිබියු යුතුයි. වැටුප් තල එහෙම වර්ධනය වෙලා නැහැ. ආණ්ඩුව විශාල ව්‍යාපෘති ආරම්භ කරනවා. එයින් විශලා කොමිස් මුදලක් ආණ්ඩුව ගන්නවා. විශාල ව්‍යාපෘතිවලින් අපෙක්ෂා කරන ආර්ථික ප්‍රගතිය ලැබි නැහැ. මේ වන විට අපේ රට බිලයන 4,500ක් ණය වෙලා.

ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:- ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස ක්‍රියාකල වසරක් ලෙස 2014 වසර සඳහන් කළ හැකයි. මෙරට ඉතිහාසයේ විශාලතම ව්‍යාපෘතිය වන කලම්බු පොර්ට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවීම රටක් වශයෙන් විශාල පියවරක් ඉදිරියට තැබූවා.

අගනුවර සිතියම පවා වෙනස් කරමින් අමෙරිකන් ඩොලර් බිලියන 1.6 ක යෝධ ව්‍යාපෘතියක් වන කළමඹු පොර්ට් සිටි ව්‍යාපෘතිය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයට අලුතින් එක්වනවා. මීට අමතර ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති මෙන්ම දිවයින පුරා ක්‍රයාත්මක වන ව්‍යාපෘති රැසක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රයාත්මක වෙනවා.

මෙරට ආයෝජන ක්‍රයාත්මක කිරීමේදී යම් ප්‍රමාණයක සීමාවන් පවත්වා ගෙන යාමට අප වගබලා ගන්නවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සදාචාරය පරිසර සුරක්‍ෂිතභාවය වැනි කරුණු රැසක් පිළිබඳ පුළුල්ව අධ්‍යයනයකින් අනතුරුව රටට ගැලපෙන ව්‍යාපෘති සඳහා පමණක් අනුමැතියන් ලබාදීම අප අමාත්‍යංශය සිදු කරනවා.

කෙසේ නමුත් ආයෝජනයන් සඳහා රටවල් අතර පවතින්නේ විශාල තරඟයක් විශේෂයෙන් නැගීඑන ලෝක ආර්ථිකයේ ප්‍රබලම රටවල් වන ආසියානු රටවල් අතර මේ සඳහා විශාල තරඟයක් පවතිනවා. කොමියුනිස්ට් රටවල් වූ චීනය, වියට්නාමය අද ආයෝජකයන්ට තම රටවල දොරටු විවෘත කර හමාරයි. කලාපයේ අනෙක් රටවල් හා සැසඳීමේදී එම රටවල් ආයෝජකයන්ට පහසුකම් ලබාදීමේදී අපට වඩා ඉදිරියෙන් සිටිනවා. දූපත් මානසිකත්වයෙන් මිදී ලෝක ආර්ථික ප‍්‍රවණතාවයන් හඳුනා ගනිමින් අපට ගැලපෙන ක‍්‍රමවේදයන් සකස් කර ගත යුතුයි.

ඉදිරි වසර තුළදී මෙරට ආයෝජන කර්මාන්තශාලා කලාප 12ට පමණක් සීමා කිරීමට අදහස් කරන්නේ නෑ. ග්‍රාමීය ප්‍රදේශ තුළට ව්‍යාපෘති රැගෙන යමින් ව්‍යාපෘති 300 ක් ක්‍රියාත්මක කිරීමට අප අමාත්‍යංශයේ අරමුණයි. ඒ තුළින් නගරයට හා සමානව ගමද දියුණු කිරීම රජයේ අරමුණයි.පසුගිය වසර කීපය තුළ මෙරට ආයෝජනයට අවශ්‍ය පරිසරය සකස් කිරීම සතුටුදායක ලෙස සිදු කරනවා. ඒ අනුව මුළු රටපුරා එක සමාන අයුරින් යටිතල පහසුකම් ඇතිවී තිබෙනවා.

අද වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන ස්ථාවරභාවය කල්පවතින සාමය හා ආයෝජන හිතකර පරිසරය ආයෝජකයන් දිරිගන්වන්න සමත් වී තියෙනවා. මේ සදහා දිය හැකි හොදම උදාහරණය වන්නේ ඇමරිකාවෙ සිට පල කරන ජාත්‍යන්තර ෆෝබිස් සගරාවේ නොවැම්බර් කලාපයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පලකර ඇති ලිපියයි. එහි මෙරට දේශපාලන ස්ථාවරභාවය කොටස් වෙළඳපළ ස්ථාවර වර්ධනය සහ ඉන්දියවේ නව දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට ඇති වාසි තත්වය පිළිබඳව ධනාත්මකව අදහස් පල කර තිබෙනවා.

මේ නිසා ලොව ප්‍රබල ආයෝජකයන් මෙරට ආයෝජනය කෙරෙහි තම අවධානය යොමුකර සිටිනවා. කෙසේ වුවත් ගතවූ මාස 10 තුළ ව්‍යාපෘතීන් 144 අනුමත කිරීමට අපට හැකි වුණා. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1789 ක්. මින් නව රැකියා අවස්ථා 8,000කට වැඩි ප්‍රමාණයක් ජනිත වෙනවා.2014 ජනවාරි සිට ජූනි දක්වා වූ කාලවකවානු තුළ මෙරටට පැමිණි ඝෘජු විදේශ ආයෝජන ප්‍රමාණ අමෙරිකානු මිලියන 853 ක්. එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී සියයට 58 ක වර්ධනයක් වෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ව්‍යවසායන් තුළින් මෙරට ශ්‍රම බළකාය තුළ 4,88,470 රැකියා අවස්ථා ලබාදී ඇත. 2014 වසර තුළ නව රැකියා 10,000 ක වැඩි ප්‍රමාණයක් ජනති කිරීමට අප අමාත්‍යංශයට හැකිවිය.

2014 ජනවාරි - ආයෝජන කාලසීමාව තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යවසායන් තුළින් අපනයන ඉපයීම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,406 ක අගයක් ගත්තා. එය 2013 එම කාලයක් සැසඳීමේදී සියයට 9 ක වර්ධනයකි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):- දේශිය නිෂ්පාදනය වැඩි කර ගන්නේ නැතුව ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගත නොහැකියි. අද ලංකාව චීනයේ කොලණියක් වෙලා. රජය කැසිනෝ නීතිගත කරනවාද නැද්ද යන ගැටළුව අපට තිබෙනවා. ඩොලර් 100ක බද්දක් ඇති කිරීමෙන් එය තහවුරු වෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පී රාජදුරෙයි මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා (එජනිස):- කර්මාන්ත අමාත්‍යාංශය සඳහා මෙවර අය වැයෙන් විශලා මුදලක් වෙන් කර තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව කර්මාන්ත අමාත්‍යාංශය සඳහා රුපියිල් මිලියන 2,000ක් වැඩි කර තිබෙනවා. සමස්තයක් ලෙස ගත් කල සියලුම අංශ කෙරෙහි මෙවර අය වැයෙන් අවධානය යොමුවී තිබෙනවා.

ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා:- ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් විශාල මෙහෙවරක් සිදු වෙනවා. ආයෝජන පුළුල් කිරීමට රජයවිවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.විපක්ෂය හැමදාම සිදුකෙළේ රජයට මඩ ගැසීම පමණයි.රටේ ජනතාවට අවශ්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. අපි ඍජු විදේශ ආයෝජන වැඩිකරගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමාට තෙවන වර ඉදිරිපත් විය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය යම් වගන්තියක් අනුවයි මේ පිළිබඳ අර්ථ නිරූපණය දක්වා තිබෙන්නේ.

පත්කළ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා (එජාප):-

ක්‍රිෂ් ආයතනය සිය ඉදිකිරීම් අරඹන බව වාර්තා වෙනවා. නමුත් ඒ ඉඩම සම්බන්ධයෙන් යම් ගැටළුවක් තිබෙන බවත් වාර්තා වෙනවා. ඩී ආර් විජේ වර්ධන මාවතේ කින්ස්බරි නමින් හෝටලයක් හා කැසිනෝ මධ්‍යස්ථානයක් හදනවා. මෙය කාගේද? ලෝකයේ වැඩිම ආර්ථික නිදහස ඇති රට හොංකොං.

කර්මාන්ත සංවර්ධන හා වාණිජ කටයුතු පිළිබද ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා:-

අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර තලයට ගන්න ලොකු උත්සාහයක් දරමින් සිටිනවා.අපනයන ආදායම වර්ධනය වුණේ වසර 2005න් පසුවයි.ප්‍රා දේශීය ලේකම් කාර්යාල මට්ටමින් කර්මාන්ශාලා 300ක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා.වසර 2020 වන විට අපේ අපනයන ආදායම ඩොලරි බිලියන 20 දක්වා වැඩිකර ගැනීම රජයේ අරමුණයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි සිලිවෙස්ටර් ඇලන්ටීන් මහතා (එජනිස):- ජනාධිපතිතුමා උතුරට නිතර පැමිණ මේ පළාතේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දුන්නා.යුද්ධය නිසා යාපනේ ජන ජීවිතය මෙන්ම කර්මාන්තශාලා රැසක් විනාශ වුණා.ඒ කර්මාන්ශාලා දියුණු කිරිමට රජය කටයුතු කරමින් සිටිනවා.වසර 30ක් පුරා මේ ජනතාවට අහිමි වූ සංවර්ධනය ආරම්භ වී තිබෙනවා.මේ නිසා මේ පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රි එස් විනෝ මහතා (දෙජාස):- සාමකාමී තත්ත්වයක් රට තුළ ස්ථාපිත කිරිමෙන් පසුව තමයි ස්ථිර ආයෝජන බලාපොරොත්තු විය හැකි වන්නේ.උතුරේ කර්මාන්තශාලා තවමත් ක්‍රියාත්මක වන්නේ නැහැ.රැකියා අහිමි වූ අයට රැකියා ලබා දීමට නම් නැවතත් කර්මාන්තශාල ආරම්භ කළ යුතුයි.සමූපකාර සියල්ලම බිඳ වැටිලා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:- සමුපකාර සියල්ලම විමධ්‍යගත කර තිබෙන්නේ. ඒවා පළාත් අනුව තමයි පාලනය වෙන්නේ.රට පුරා සිටින මහ ඇමැතිවරුන්ට එන්න කියා අපි කිව්වා. ඒ අය අපි හමුවුණා.අපි ප්‍රතිපාදන ලබා දෙනවා මේ සංවර්ධන කටයුතු වලට. ඒත් උතුරේ මහඇමැතිවරයා අපි කතා කළාට ආවේ නැහැ..

විනෝ මහතා:- අපි කැමතියි සහයෝගයෙන් වැඩ කරන්න්ට. මහ ඇමැතිතුමා මධ්‍යම රජය සමග කටයතු කරන්නට උතසාහ කළා. ඒත් නොහැකි වුණා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා (එජනිස):- ඇතැම් විවේචන සාධාරනව සිදු කළා. ආර්ථික වර්ධනය වසර 2015 වන විට සියයට 8.2 දක්වා වැඩිකරන්නට අපි සැළසුම් කර තිබෙනවා.කර්මාන්ත සඳහා ඉතාම හොඳ පරිසරයක් රට තුළ ස්ථාපිත වී තිබෙනවා.බයිසිකල් ටයර් එකක් වත් හදන්නේ නැතිව රට දියුණු කරන්නේ කොහාමද කියා සුජීව සේනසිංහ මන්ත්‍රිතුමා කිව්වා.මේ රටේ බයිසිකලේකින්වත් යන්න පරිසරයක් තිබුණේ නැහැ කියා එතුමාට අමතක වෙලා.සතොස නිසා මිල පාලනයක් ඇති වී තිබෙනවා._

සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා:- තරඟකාරිත්වයක් තුළින් පාරිභෝගිකයාට විශාල සේවයක් සිදු කළා.සතොස මගින් කරන කාර්යභාරය වැඩිදියුණු කිරිමට බලාපොරොත්තු වෙනවා. මේ වසර අවසන් වන විට සතොස සැල් 325ක් දක්වා වැඩි කිරිමටත් වසර 2015දී එය 400 දක්වා නංවාලීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතා:- විපක්ෂයට විවේචනය කරන්න තරම් දෙයක් මේ අය වැයේ නැහැ. ඒ නිසා ඔවුන් අද පාර්ලිම්න්තුවේ නැහැ. ඔවුන් මෙවර අය වැය ලේඛනය සමඟ එකඟයි. 1970 සිට 1977 දක්වා කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයයි. ඒ කාලේ කැලණි ටයර් කර්මාන්ත ශලාව, පේෂ කර්ම කර්මාන්ත, අත්යන්ත්‍ර හා බලවේග අංශ වැනි ක්ෂේත්‍ර දියුණු වුණා. නමුත් 77න් පසුව ජවපෙ මේවා ගිනිතියමින් විනාශ කළා වගේම එජාපය ප්‍රතිපත්තිවලින් කර්මාන්ත විනාශ කළා. ඉන්පසුව කර්මාන්ත කෂේත්‍රයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි.

මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී එස් යෝගේෂ්වන් මහතා (දෙජාස):- රජය මොනව කීවත් භාණ්ඩවල මිල වැඩි වෙලා. ඊට සරිලන අකාරයට සේවකයන්ගේ වැටුප් වැඩිවෙලා නැහැ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):- ලංකා සතොස වෙළඳසැල් 300ක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එමඟින් වෙළෙඳපළ තරඟකාරීත්වය ඇති කර භාණ්ඩ මිල පාලනය කිරිමට රජය සමත් වෙලා.

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳකටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:- වෙනදා විපක්ෂය භාණ්ඩ මිල ගැන කතා කළා. අද විපක්ෂයට භාණ්ඩ මිල ගැන කතා කරන්න දෙයක් නැහැ. භාණ්ඩ මිල සාධනීය අයුරින් අඩු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය භාණ්ඩ මිල පාලනය කිරිමට කිසිම ආයතනයක් රජය යටතේ තබා ගත්තේ නැහැ.

නමුත් 2005 බලයට පත් ජනාධිපතිතුමා සතොස සමූපකාරයට මුල්තැන ලබාදෙමින් භාණ්ඩ මිල ස්ථාවරව පත්වා ගෙන යාමට කටයුතු කළා. වසර 17ක් පාලනය කර එජාප ආණ්ඩු කාලයේදී මේ රටේ උද්ධමනය තනි ඉලක්කමේ තිබුණේ වසර තුනක පමණයි. නමුත් 2005න් පසුව මේ රටේ උද්ධමනය තනි ඉලක්කමේ පනත්වා ගෙන යාමට රජය සමත් වුණා.

විපක්ෂය මේයට අකමැතියි. ජනාධිපතිතුමා රට භාරගන්නවිට සුනාමියෙන් හා යුද්ධයෙන් රට විනාශ වී තිබුණා. යුරෝපයේ ආර්ථික අවපාතයකට මුහුණ දී තිබුණා. ඒ සියල්ල ජය ගෙන ආර්ථිකය ශක්තිමත කිරීමට ජනාධිපතිතුමා නායකත්වය දුන්නා. අකිල මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාට කිව්ව ගමේ බයියා කියලා.

නමුත් මොල් තිබුණ ජේ ආර් ජනාධිපතිතුමාට වඩා, පළපුරුද්ද තිබුණ ප්‍රේමදාස ජනාධිපතිතුමාට වඩා උද්ධමනය තනි ඉලක්කමේ තබා ගැනීමට තරම් ගමේ බයියට දක්ෂතාවයක් තිබ්බා. සමූපකාරය ගොඩ ගැනීමට ලක්ෂ 10 බැගින් ලබා දුන්නා. සමුපකාරය බදුවලින් නිදහස් කිරීමට පියවර ගත්තා. අළුත් ලෝකයට ඔබින පරිදි සමූපය ඉදිරියට ගෙනාවා. බදු වලින් ආයෝජනය කරමින් සතොස සමූපය දියුණු කර තිබෙනවා.

කර්මාන්ත සංවර්ධන ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා:- ශ්‍රී ලංකාව හා ඉන්දියාව ශ්‍රී ලංකාව හා පකිස්තානය චීනය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් කිහිපයක් අත්සන් කර තිබෙනවා.ඒ වගේම වියට්නාමය ඇතුළු රටවවල් ගණනාවක් සමග ගිවිසුම් අත්සන් කිරිමට නියමිතයි.අපගේ අපනයන අදායම බිලියන 20 දක්වා වැඩිකර ගැනීම අරමුණයි.ජි එස් පී සහනය අහිමි වුණා කියලා අපගේ අපනයන අඩු වෙලා නැහැ.අපි පසුගිය කාලයේදී ඩොලර් මිලියන 1815ක් අපනයනයක් සිදු කර තිබෙනවා.

අප අමාත්‍යාංශය යටතේ කර්මාන්තපුර 27ක් තිබෙනවා.පසුගිය කාලයේදී අතුරු නැඟෙනහිරත් කර්මාන්ත ඇති කර තිබෙනවා.කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතේ කර්මාන්ත ආයතන ගණනාවක් තිබෙනවා.අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.ලබන වසරේදි මඩකළපුව ආශ්‍රිතව කර්මාන්ත පුරයක් ඇති කරනවා.

ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා මහතා:- ආයෝජන සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩ නගා ගන්නට විපක්ෂය උත්සාහ කළා.චීන ආයෝජකයින් වන ෆෝර්ට් සිටි ආයෝජනය ගැන වැරදි කතාවක් කිව්වා.මහා විශාල ඉඩමක් චිනයට දෙනවා කියලා කිව්වා.මේකේ ඉඩමක් නැහැ.මුහුද ගොඩ කරලා හදන නගරයක් සිංගප්පුරුව මුහුද ගොඩ කරලා හැදුවේ.මේක විදෙස් ආයෝජනයක්.අමේරිකානු ඩොලර් බිලියන 1.3ක ආයෝජනයක්. එවැනි ආයෝජනයක් යෙදවිමට ආර්ථික අතින් ශක්තිමත් රටක් විය යුතුයි.හෙක්ටයාර් 233ක භුමියක් ඉදිවෙනවා.වැල්ලවත්ත රෙදි මෝල අක්කර 13ක් සහිත සම්පූර්ණ ආයෝජනය විකුණුවේ ලක්ෂ 11000ට. නමුත් ෂැංග්‍රිලා ව්‍යාපෘතියේ එක් අක්කරයක් එක් අක්කරයක් අපි විකුණුවේ ලක්ෂ දාහත්දහසකට.

වැය ශිර්ෂ සංශෝධන රහිත සම්මත විය.

පාර්ලිමේන්තුව අද (13) පෙරවරු 9.30 යළි රැස්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා