ජනපති මහින්ද දෙවැනිවර ලැබූ ඡන්ද සංඛ්‍යාවටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රහණය කරනවා

ජනපති මහින්ද දෙවැනිවර ලැබූ ඡන්ද සංඛ්‍යාවටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රහණය කරනවා

 - ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී තරග වැදීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දුවක් ලබා දී තිබෙන බැවින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට තරගකර දෙවැනිවර ලැබූ ඡන්ද සංඛ්‍යාවටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රහණය කරන බව ඒකාන්ත යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා පුනර්ජනනීය බල ශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එළැඹෙන ඕනෑම ජාතික මැතිවරණයකට මුහුණ දීම සඳහා පෙර සූදානමක පසුවන බවත්, ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකට අයත් මැතිවරණ කොට්ඨාස 160ක මෙන්ම ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථාන බල ප්‍රදේශ 11,478ක පක්ෂ සංවිධාන කටයුතු සිදුකොට ප්‍රාදේශීය බලමුළු ශක්තිමත් කොට අවසන්ව ඇති බවත් පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවැනි පෙර සූදානම පසුවන අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ විපක්ෂය ජනාධිපතිවරණය සඳහා තවමත් අපේක්ෂකයකු තෝරාගත නොහැකිව සිටින බවත් කීය. පසුගිය ජනාධිපතිවරණයට කොළපාට හෝ අලියා නොමැතිව තරග කළ එක්සත් ජාතික පක්ෂය මෙවරත් පක්ෂ සළකුණ යටතේ තරග වදිනු ඇතැයි මත පළ කළ නොහැකි යැයිද කීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ

( 12) පැවති මාධ්‍ය හමුවේදී ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 12ක මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජනයක් පවතින තවත් දේශපාලන පක්ෂ රැසක සහයෝගය පවතින බවත් පැවසූ මහ ලේකම්වරයා එසේ වුවත් එක්සත් ජාතික පක්ෂයට සහාය ලැබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පමණක් බවත් පැවසීය.

මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට පැහැදිලි ජාතික වැඩපිළිවෙළක් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් හෝ මහජන පදනමක් සහිත පක්ෂවල සහාය අත්‍යවශ්‍ය වුවත් එක්සත් ජාතික පක්ෂයට ඒ කිසිවක් නොමැති බවත් සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ සන්ධානය පරාජයට පත්කිරීමට සමත් ජනාතාවට පිළිගත හැකි ආකාරයේ කිසිදු සාධකයක් ඉදිරිපත් කරගත නොහැකි තත්ත්වයකට පත්වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට තර්ක කරන තැනට පත්ව සිටින බවත් පෙන්වා දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා මෙසේද පැවැසීය.

විධායක ජනාධිපති ක්‍රමය ගැන මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. රජයට ඡන්දය දෙන රටේ අති මහත් බහුතර ජනතාව ග්‍රාමීය ජනතාවයි. එදා ජනාධිපතිතුමා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරන විට එය අතරමඟ නතර කරවීමට විදේශීය බලවේගවලට අවශ්‍ය වුණා. එය කරගන්න බැරිවූ නිසා ජිනීවා ගියා. දැන් හදන්නේ විධායකය අහෝසි කර ජනාධිපතිතුමා සහ සන්ධාන රජය ගෙදර යවන්නයි. විපක්ෂය දැන් කරන්න හදන්නේ එම උත්සාහය ක්‍රියාත්මක කිරීමයි.

ජනාධිපතිතුමා සියල්ලන්ට ම වෙනස් වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ත්‍රස්තවාදය පරාජය කර රටේ සෑම තැනක් ම සංවර්ධනය කරමින් සිටිනවා. එම සංවර්ධනය කාටත් පෙනෙන දෙයක්. රටේ සංවර්ධනය සෑම දර්ශකයක් යටතේ ම ඉහළ ගොස් තිබෙනවා.

අපගේ සංඛ්‍යා දත්ත ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ලෝක සංවිධාන පිළිගෙන තිබෙනවා.මේ රටේ ජනතාවට දැවැන්ත ආර්ථික ප්‍රතිලාභ අත්වන අය වැයක් ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙන මේ මොහොතේ රට අස්ථාවර කිරීමටයි මේ උත්සාහ දරන්නේ. කුමන අපේක්ෂකයා විපක්ෂයෙන් ඉදිරිපත් කළත් පසුගිය ජනාධිපතිවරණයටත් වඩා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා