පණ්ඩිත් අමරදේවයන් නමින් ජනපති නියමයෙන් විද්‍යායතනයක්

පණ්ඩිත් අමරදේවයන් නමින් ජනපති නියමයෙන් විද්‍යායතනයක්

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් සිදු කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා නමින් විද්‍යායතනයක් ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරයි.

අමරදේව මහතා විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් මෙලෙස විද්‍යායතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන අතර එය ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහතාට නියෝග කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ තීරණය ගනු ලැබුවේ කලාකරුවන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති හමුවකට සහභාගි වූ අවස්ථාවේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමිනි. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් මේ හමුව සංවිධාන කෙරිණි.

හෙළ සංගීතයට ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ නමින් ‍මෙම යෝජිත විද්‍යායතනය නම් කරන අතර එමඟින් අනාගත දරු පරපුරට විශාල සේවාවක් සිදුවන බවද ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේය.

සංගීත ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන මෙන්ම ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනාටම මෙමඟින් අවශ්‍ය පහසුකම් ලබා ගතහැකි වන අතර අමරදේවයන් විසින් නිර්මාණය කළ ගීත ඇතුළුව ක්ෂේත්‍රයේ අනෙකුත් සියලු සම්පත් සංරක්ෂණය කර තබා ගැනීමට එමඟින් හැකිවන බවද ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ආදිය ද ලබාගත හැකි ලෙස එය ඉදිකරන බවද ඒ මහතා පැවසීය.

මේ අතර ඩග්ලස් සිරිවර්ධන මහතා සඳහන් කළේ මේ විද්‍යායතනය ශ්‍රවණාගාරයක් ඇතුළු සියලු අංගයන්ගෙන් සමන්විත වන ලෙස නවීන තාක්ෂණයට අනුව ඉදිකරන බවයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා