පැකියාඕ සමග නැවත තරගයකට මේවෙදර් කැමති වෙයි

පැකියාඕ සමග නැවත තරගයකට මේවෙදර් කැමති වෙයි

‘සියවසේ සටන’ බොක්සිං තරගයෙන් පරාජය වූ මැනී පැකියාඕ ට නැවත තරගයක් ලබා දීමට තමා කැමති බව ජයග්‍රාහී ෆ්ලොයිඩ් මේවෙදර් ප්‍රකාශ කර තිබේ. දෙදෙනා අතර පසුගිය සෙනසුරාදා පැවැති තරගයෙන් තමා පරාජයට පත්වූයේ තමාගේ උරහිසේ තුවාලය විසින් තම දස්කම් මොට කරනු ලැබූ නිසා බව පැකියාඕ විසින් හෙළි කිරීමෙන් පසුව මේවෙදර් නැවත තරගයකට කැමැත්ත පළකර තිබේ.

“ඔහුගේ ශල්‍යකර්මයෙන් වසරකට පස්සේ මම එයාත් එක්ක සටන් කරන්නම්” මේවෙදර් කියයි.

පැකියාඕ සමග නැවත වතාවක් බොක්සිං වළල්ලට පිවිසීමේ මේවෙදර්ගේ මේ සූදානම සෙනසුරාදා රාත්‍රියේ ලාස් වේගාස්හි තරගයෙන් පසුව ඔහු කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් එකකි. “මගේ අන්තිම සටන තියෙන්නේ ලබන සැප්තැම්බරයේයි. ඉන්පසුව මම තරග බිමෙන් සමුගන්නවා” යනුවෙන් මේවෙදර් එදා කියා සිටියේය.

රොකී මාසියානෝගේ 49–0 අපරාජිත වාර්තාව සම කිරීමට තවත් එක් ජයග්‍රහණයක් පමණක් අවශ්‍යව සිටින 38 හැවිරිදි මේවෙදර්, ලෝක හෙවිවේට් බොක්සිං ශූර මාසියානෝගේ අද්විතීය වාර්තාව අභිබවා යාමේ ආශාවක් තමන් තුළ නැතැයි කළින් පවසා තිබිණි.

කෙසේ වෙතත්, පළමු තරගයේදී මෙන් ආකර්ශනයක් හෝ ආදායමක් දෙවැනි තරගයකින් ලබා ගැනීම සැකසහිතව තිබුනද දෙදෙනා අතර නැවත පැවැත්වෙන තරගයකින් පවා බොහෝ මුදල් ඉපයෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පැකියාඕ බරපතළ උරහිසේ ආබාධයකින් පෙලෙන බව ඔහුගේ කඳවුර නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

එක්සත් ජනපද තහනම් ශරීර උත්තේජන විරෝධී ඒජන්සිය විසින් අනුමත කරන ලද එන්නත භාවිතා කර ප්‍රතිකාර ලබා ගැනීමට නෙවාඩා ප්‍රාන්ත මලල ක්‍රීඩා කොමිසම පැකියාඕ ට ඉඩ නොදුන් බව කියමින් ඔහුගේ කඳවුර විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා