මැලේසියා පාලක සභාගය යන්තම් බලය රැක ගනී

මැලේසියා පාලක සභාගය යන්තම් බලය රැක ගනී

මැලේසියාවේ පෙරේදා පැවැති පාර්ලිමේන්තු අතුරු මැතිවරණයකින් පාලක සභාගය යන්තමින් බලය රැකගෙන ඇති අතර එය අගමැති නජිබ් රසාක්ට ඇති ජනතා සහාය උරගා බලන්නක් ලෙස සැලකේ. මේ අතර තවත් අතුරු මැතිවරණයක් අද පැවැත් වීමට නියමිතය.

මැලේසියාවේ ජාතික පෙරමුණු සභාගය එහි පහාන් ප්‍රාන්තයේ ග්‍රාමීය ආසනයක් සඳහා පැවැති අතුරු මැතිවරණයේදී ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් 61%ක් ලබාගනිමින් ජයගෙන ඇති බව රාජ්‍ය බර්නමා පුවත් සේවයෙන් ප්‍රකාශ කළේය. මේ ආසනය පාලක සභාගයේ බලකොටුවක් ලෙස සැලකෙන අතර 2013 මැතිවරණයේදී සභාගය එහිදි 67% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබිණ.

මේ අතුරු මැතිවරණවලින් අගමැතිවරයාගේ අනාගතය තින්දු කෙරෙනු ඇතැයි ජනමතය වී තිබේ. මෑතකාලයේදී අගමැති නජිබ් ගේ කීර්තියට කැළැලක් වී ඇත්තේ ඔහුගේ පවුල සතු අතිවිශාල ධනස්කන්ධය හා රජයේ සංවර්ධන අරමුදලේ සිදුව ඇතැයි පැවැසෙන වංචනික මූල්‍ය ගනුදෙනු චෝදනාවන්ට අදාළ වාර්තාය.

2009 දී අගමැතිවරයා විසින් අරඹන ලද මේ සංවර්ධන අරමුදලේ උපදේශක මණ්ඩලයේ සභාපතිත්වය තවමත් උසුලන්නේ ඔහුය. අරමුදලෙන් අතුරුදන්ව ඇතැයි පැවැසෙන ඩොලර් මිලියන සිය ගණනකට සිදුව ඇති දේ හා අරමුදලේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විපක්ෂයෙන් පමණක් නොව අගමැතිවරයාගේම පක්ෂයෙන් ද නැගෙන ප්‍රශ්නකිරීම්වලට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොලැබීමෙන් ඔහු දැඩි චෝදනාවට ලක්ව තිබේ.

මේ අතර පෙරේදා පාලක පක්ෂය යන්තමින් ජය ගත් ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පවත්වන ලද්දේ අප්‍රේල් 4 දා හෙලිකොප්ටර් අනතුරකින් අදාළ ආසනයේ මන්ත්‍රිවරයා මියගිය බැවිනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා