මුම්බායි පිලට ජය

මුම්බායි පිලට ජය

තරගයේ වීරයා හර්බජාන් සිං

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පිල පෙරේදා සමත්විය. තරගාවලියේ 39වැනි තරගයේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලු 5කින් පරාජයට පත් කළ මුම්බායි පිල ‍තරග 10කට සහභාගි වෙමින්ප්‍රසාද ලකුණු 10ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවෙයි. මෙවර තරගාවලියේ තමන් සහභාගිවූ මුල් තරග 5ම පරාජයට පත්වී සිටි මුම්බායි පිල පිට පිට ලද සිවුවැනි ජය මෙය වීම විශේෂත්වයකි.

මුම්බායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලබාදුන් ලකුණු 153ක ඉලක්කය පන්දු 3ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට මුම්බායි පිල සමත්විය. ඒ සඳහා ඔවුන්ට කඩුලු 5ක් අහිමිවිය.

මුම්බායි පිළිතුරු ඉනිමේදී අම්බති රයිදු නොදැවී ලකුණු 49ක් රැස්කළ අතර ඔහු කිරන් පොලාඩ් සමග එක්ව 6වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 53ක් හා නායක රෝහිත් ශර්මා සමග එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගීය. පොලාඩ් පන්දු 14කින් හයේ පහර 3ක් සමග ලකුණු 26ක් හා ශර්මා පන්දු 37කින් ලකුණු 46ක් ඉනිමට එක් කළහ‍.

පන්දු යැවීමේදී නේදන් කුල්ටර්නයිල් කඩුලු 2ක් දවාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ඕවර 4කදී ලකුණු 33කට කඩුල්ලක් දවාගත්තේය. කාසියේ වාසිය දිනා ඉනිම ඇරැඹු දිල්ලි පිලේ ආරම්භක පිතිකරු මයාන්ක් අග්‍රාවල් ඉනිමේ පළමු පන්දුවෙන්ම යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලසිත් මාලිංග සමත්විය. යුවරාජ් සිං පන්දු 44කින් ලකුණු 57ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් ඇතුළත් විණි. නායක ජේ.පී.ඩුමිනි ලකුණු 28ක් රැස්කළේ පන්දු 19ක් වැය කරමිනි.

පන්දු 10කට මුහුණදුන් ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් සමගින් ලකුණු 12ක් රැස් කළේය. පන්දු යැවීමේදී හර්බජාන් සිං ඕවර 4කදී නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 11කට කඩුලු 2ක් දවාගත් අතර ලසිත් මාලිංග ලකුණු 33කට කඩුලු 2ක් දවාලීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා