අවතාරයක් යැයි සිතා අලියකුට බයවෙලා

අවතාරයක් යැයි සිතා අලියකුට බයවෙලා

එදා සිරිවිමල රැකියා ස්ථානයේදී තම හිතවතකු සමග ඇති කරගන්නා ලද සුළු අමනාපවීමක් හේතුවෙන් තදින් කෝපවී සිටි දවසක් විය. රැකියාව අවසන් කර පිටවීමේ ලේඛනයෙන් අස්සන් තබා ඔහු කාර්යාලයෙන් පිටවන විට රාත්‍රි 10 ත් පසුවී තිබුණි.

කොළඹින් පිටවී යන බස් රථයට ගොඩවී අසුනකට බරවූ සිරිවිමල් නෙළුන්දෙණියෙන් බැසීමට ගත වන කාලය ගණන් බැලීය. නිවෙස බලා ගමන් කරන බස් රථයේ අවසන් ගමන් වාරය පහුවන බවත් අවබෝධ කරගත්තේය.

ත්‍රිරෝද රියක් වත් නැති මේ හන්දියෙන් බැස පා ගමනින් හෝ ගෙදර යමියි සිතා ගත්තේය. සිත එකලස් කර ගත්තේය. ගමන ඇරඹීය. බස් රථය නෙළුන්දෙනියට ළඟා වන විට රාත්‍රි එකත් පසුවී තිබුණි. ඔහු බස් රථයෙන් බැස ගත්තේය. වට පිට බලා අඩ අඳුරේ යම්තමින් පෙනෙන ගුරු පාර දෙස මදක් නිහඬව බලා සිටියේය.

ඔහු වළාකුළු හා තුරු අතරින් දිස්වන අඩ සඳ එළියේ පිහිටෙන් ඉදිරියට ගමන් ඇරමීය. විමල්ට සමහර ස්ථානවලදී බියක්ද දැනුණි. නිවසට ළඟා වීමට තව කි. මී. හයක් තිබෙන බවත් ඔහුට වැටහිණි.

‘හාමිනේ... දැන් රෑ දෙකත් පහුවෙලා වගේ නේද තව විමල් පුතා ආවෙ නෑ.. නේද... අද එනවාත් කීව නේද?... එනව නම් දැන් එන්ඩ වෙලාව හරි... මට හිතේ...එයි ..එයි... තව ටිකක් බලමු’

මේ සිරිවිමල්ගේ මවුපිය දෙපළගේ සාකච්ඡාවය. මේ සමඟම ‘කවුද දොරට තට්ටු කළා නේද’ යි අසමින් විමල්ගේ පියා ඉදිරි දොර දෙසට ගොස් දොර විවෘත කළේ විමල් යැයි සිතමිනි.

‘හරමානිස් මාමේ ... සිරිවිමල්ට පොඩි කරදරයක්, පොඩි බයවීමක් වෙලා සිහි මූර්ජා වෙලා. අපේ අලි තේගිස් අයියා මතුරලා සිහිය ගත්තා. දැන් පීතර අයියලගෙ ගෙදර නිදි’

‘අනේ මගේ පුතාට...’ මව විලාප දෙන්න වුවාය. ‘හරි හරි කලබල වෙන්න එපා අපි යමුලී මාටින් මුදලාලිගෙ ලොරියෙන් ගිහින් එක්කන් එමු’

අලි තේගිස් මේ රෑ දෙගොඩ හරියෙ කොහෙ ගිහින්ද?’ ‘පෙරහරකට යන ගමන්’

සිරිවිමල නිදා සිටි පීතර්ගේ නිවෙසට පැමිණ පිරිස සිද්ධිය පිළිබඳ විමසිලි කළේය.

‘දැන් නින්ද ගිහින්. ඇහැරුනාම සේරම අමතක වෙයි. මම තෙල් බිංදුවකුත් නළලෙ ගෑවා’ තේගිස් අයියා කීවේය.

‘දැන් මොකද වෙලා තියෙන්නෙ’ පියා විමසීය.

‘ඔය සිරිවිමල මහත්තයා බය වෙලා තියෙන්නෙ මගෙ අලියට. ඒ කියන්නෙ ඔතන ගැන කතාවක් තියෙනවානෙ ඔය කනත්තෙ මිනී වලක දපලා ගුරුකමක් කරන්න ආපු කට්ටියක් බය වෙලා අලි එනවා දැකලා. ඒ කියන්නෙ අලි අවතාර. ඒව දැක්ක හය දෙනාම අලි පාගලා මැරිලා. එතනට එදා ඉඳලා කියන්නෙ ‘අලිවලපල්ල’ කියලා. එතනින් එනකොට යාම්තම් සඳ එලියෙන් මගෙ අලියව දැක්ක ගමන් ඔය සිද්ධිය මතක් වෙන්න ඇති.

ඒකයි වෙලාතියෙන්නෙ. එදා අර කට්ටිය ළඟට ඇවිත් තියෙන්නෙ අවතාර අලි මේ ඇවිත් තියෙන්නේ පණ පිටින් අලියා. ඉතින් බය වෙන්න එපා. මම දැන් යනවා. තව කී. මීටර් අටක් යන්න තියෙනවා. පෙරහර තියන පන්සලට. ඔයල විමල් මහත්තයව එක්ක යන්න කිසි දෙයක් කියන්න අහන්න එපා. නොදන්නවා වගේ ඉන්න’ කියා අලියා සමග අලි තේගිස් අයියා අඩ අඳුරට පිවිසියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා