පන්සලේ කෑම පෙට්ටියෙන් එව්ජින් ආච්චි බනිස් සොරකම් කරලා

පන්සලේ කෑම පෙට්ටියෙන් එව්ජින් ආච්චි බනිස් සොරකම් කරලා

එව්ජින් ආච්චිගේ ඇෙඳ් මෙට්ටය යට සඟවා තිබූ මුදල් පසුම්බිය නැති වූ බව දැනගත්තා ය. නිවෙසේ සැමගෙන් මේ පිළිබඳව විමසුවත් කිසිම යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

අවසානයේ ඇය ශාන්ති කර්ම කරන භික්ෂුන් වහන්සේ නමකගේ පිහිටා සොයා ගියා ය. උදෙන්ම නැගිට විහාරස්ථානයට ගොස් මේ පිළිබඳව විමසුවා ය.

හවස පවත්වන දේව පූජාවට සම්බන්ධ වී දෙහි ගෙඩි 21 ක් කපා ගන්නා ලෙසට ද දැන්වූයෙන් හවස අවශ්‍ය පූජා භාණ්ඩ ද රැගෙන පන්සලට ගියා ය. රාත්‍රි අටට පමණ පටන් ගන්නා මෙම දේව පූජාවට විශාල පිරිසක් සහභාගි වෙති.

හවස හතට පමණ වන විට ස්වාමීන් වහන්සේ රැස්ව සිටින පිරිස ගණන්කර බලා ඒ සැමදෙනාටම සෑහෙන ලෙස බනිස් වැනි ආහාර ලබාදීම දිනපතා සිදු කරයි. එදිනද කාඩ්බෝඩ් පෙට්ටියකට දැමූ කිඹුලා බනිස් තිබිණි.

එව්ජින් ආච්චි බනිස් පෙට්ටිය දැක වහා ඒ අසලට ගොස් කාටත් හොරාම කිඹුල් බනිස් පහක්ම ගෙන තම පන් මල්ලේ සඟවා ගත්තා ය. විහාරස්ථානයේ සිටින ගෝලයෙක් මෙය දැක ස්වාමින් වහන්සේ හට දැන් වූයේ ය. උන් වහන්සේ කිසිත් නොදොඩා සිත්හි තබා ගත්හ.

පූජාව පටන් ගැනීමට පෙර සියලුම දෙනා බණ මඩුව තුළ රැඳෙන්නේ තමාට රිසි අයුරිනි. එව්ජින් ආච්චි බණ මඩුවේ තිබූ කුලුනකට හේත්තු වී ඉඳගත්තාය. බනිස් ගැන සිතමින්සිටි ඇයට නොදැනුවත්ම නින්ද ගියා ය. පූජාව ආරම්භ විය. ඇය මේ කිසිවක් නොදත්තා ය.

මේ අතර ඇයට නින්ද ගොස් ඇති බව දැනගත් අයෙක් වහාම දුවවිත් පන් මල්ල ගෙන ඉවතට ගෙන ගොස් එහි තිබූ බනිස් ඉවත්කර ඒ හා සමානව තබා ගත් පොල්ලෙලි කෑලි කීපයක් ඔතා ඒ අයුරිනි. පන් මල්ලට දමා තිබූ තැනේම තැබුවේ ය. පූජාව අවසන් වන තුරුම ඇය නිදිය.

ඇය හදිසියේම අවදිව දෙහි ගෙඩි 21 කප්පවා ගත්තා ය. මල්ල බරට තිබෙන නිසා ඇයට සැකයක් ද ඇති නොවීය. ස්වාමීන් වහන්සේට වැඳ ඇය නිවෙස බලා පිටත් වූවාය. පසුදින මේ සොරකම මුළු ගම පුරා ප්‍රචලිත වී ගියේ ය. හන්දියේ කඩ මණ්ඩියට ගිය ඇය ගෙන් එහි සිටි කොලු ගැටයන් “කිඹුල් බනිස්” යැයි සරදම් කරන්නට වූවෝ ය. වරෙක ඇය කිපී සරදම් කරන්නවුන් පසුපස එලවුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා