ජා-ඇළ පාළු නිවෙසක සිදුවූ මිනිස් ඝාතනයේ සැකකාර යාචක‍යෙක් රක්ෂිත බන්ධනාගාරයට

ජා-ඇළ පාළු නිවෙසක සිදුවූ මිනිස් ඝාතනයේ
සැකකාර යාචක‍යෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිසට පොල්ලකින් පහරදී පලාගිහින්

ජා ඇළ සේවියර් මාවතේ පාළු නිවෙසකදී සිදු කරන ලද පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු ජා ඇළ පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මළ සිරුර මහේස්ත්‍රාත් නියමය පරිදි රාගම රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන යෑමෙන් අනතුරුව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජා ඇළ පොලිස් ස්ථානාධිපති චන්දිමාල් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව පරීක්ෂණ ඇරැඹිණි.

මිය ගිය පුද්ගලයා ජා ඇළ තදාසන්න ප්‍ර‍්‍රදේශවල පොල්කඩන රාජා නැමැත්තකු වන අතර සිද්ධියට සැක කටයුතු ලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් (යාචකයකුගෙන්) ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු විසින් එල්ල කරන ලද පොලු පහරකින් මෙම ඝාතනය සිදුවූ බව ඝාතකයා පිළිගන්නා බවය.

තමා මෙම පාළු ස්ථානයේ රාත්‍රියේ නිදා සිටියදී මිය ගිය පුද්ගලයා තමාට ලිංගික අතවරයක් කිරීමට සූදානම් වෙද්දී තමා විසින් ඔහුගේ හිසට පොල්ලකින් පහරක් එල්ල කරනු ලැබූ බවත් ඉන් පසු තමන් එම ස්ථානයෙන් පලා ගිය බවත්ය.

සැකකාර පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී. මේ සම්බන්ධව ප්‍රදේශවාසීන් පැවසුවේ පොල්කඩන රාජා නමින් ප්‍රදේශයේ කවුරුත් නිතර දකින හඳුනන ඔහු ගම්පොළ පදිංචිකරුවකු බවත් ඔහු විවාහ වී දරුවකුද සිටින අතර දැනට දරුවා සහ මව පෑලියගොඩ ප්‍රදේශයේ

පදිංචිව සිටින බවත් ඔහු ඇගෙන් ඈත්වී ඇය අත හැර ජා ඇළ ප්‍රදේශයේ දැනට වසර 17ක් තිස්සේ පදිංචිව සිටින්නකු බවත්ය. පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂක අශෝක වීරතිලක උප පොලිස් පරීක්ෂක බණ්ඩාර පොලිස් සැරයන් 38712 ප්‍රනාන්දු නිලධාරීහු මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා