පොදු රද මඩුලු සමුළුවේදී ජනමාධ්‍යයේ වගකීම ඉහළයි

පොදු රද මඩුලු සමුළුවේදී ජනමාධ්‍යයේ වගකීම ඉහළයි

නාවික හා ගුවන් සේවා තොරතුරු හා පර්යේෂණ ආයතනයේ සභාපති නිහාල් හේවගේ

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මෙහි පැවැත්වීමේ වැදගත්කම හා ඉන් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳත්, රටේ ඉදිරි ජයග්‍රහණ සඳහා එය දායක කරගත හැක්කේ කෙසේද යන්න ගැනත්, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ කථිකාචාර්ය, නාවික හා ගුවන් සේවා තොරතුරු හා පර්යේෂණ ආයතනයේ සභාපති නිහාල් හේවගේ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ තිස් අවුරුදු යුද්ධය නිමා කර රට ශීඝ්‍ර සංවර්ධන මාවතකට යොමුව තිබියදීයි. එවැනි පසුබිමක මෙවැනි සමුළුවක් මෙහි පැවැත්වීමේ වැදගත්කම ඔබ තේරුම් කරන්නේ කොහොමද?

ඉතිහාසය දිහා බැලුවොත් මෙය මෙහි පැවැත්වෙන මෙවැනි පළමු සමුළුව නෙවෙයි. මට මතක ඇති කාලය ගත්තොත් 1976 දී නොබැඳි ජාතීන්ගේ සමුළුවත්, ඊට පසුව සාර්ක් රාජ්‍ය නායක සමුළුවත් මෙහි පැවැත්වුණා.

මේ සමුළු පැවැත්වීම ගැනත් නොයෙක් චෝදනා විවේචන ඒ ඒ වකවානුවල එල්ල වුණත් ඒවා නිසා අපේ රටට විශාල ප්‍රයෝජනයක් ලැබුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මෙහි පැවැත්වීම ගැන අප තේරුම්ගත යුත්තේ මේ අතීතයත් සමඟ සසඳමිනුයි.

මැදපෙරදිග රැකියා, වෙළෙඳ පොළ ගැන අපි අද ආඩම්බරයෙන් කතා කරනවා. මේ වෙළෙඳ පොළට අපට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ කලින් කී අන්දමේ සමුළු පැවැත්වීම ආදිය හරහා නිර්මාණය වූ වාසිදායක පසුබිම නිසයි.

මේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවටත් රටවල් 54 ක නායකයෝ සහභාගි වෙනවා. එතැන් සිට ඉදිරි දෙවසරක කාලයට සමුළු සභාපතිත්වයත් අපට ලැබෙනවා. මේ අවස්ථාව අපට නොලැබුණා නම් තවත් දශක ගණනාවකට එවැනි අවස්ථාවක් අපට නොලැබෙන්න ඉඩ තිබුණා.

2009 මැයි 19 වැනිදා ත්‍රස්තවාදය පරාජය කර යුද්ධය නිමාවී දැන් සිව් වසරක්. අපේ රට ගැන වැරැදි චිත්‍රයක් තමයි ලෝකයට ගිහින් තිබුණේ. නමුත් දැන් අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජනකොටස් සැබෑ නිදහස බුක්ති විඳිනවා.

උතුර නැඟෙනහිර, දකුණ බස්නාහිර කියලා වෙනසක් නෑ කවුරුත් කරදරයක්, පීඩාවක් නැතිව ජීවත් වෙනවා. ඇත්තටම, පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් ගත්තත් කීයෙන් කීයකටද එවැනි නිදහසක් තියෙන්නේ? මේ සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ට හා නියෝජිතයන්ට අප ලබා ඇති නිදහස, දියුණුව දකින්න පුළුවන්. ඒක ඉතා හොඳ අවස්ථාවක්. එමඟින් රට පිළිබඳ නිවැරැදි චිත්‍රය ලෝකයට පෙන්වීමේ හැකියාව අපට ලැබෙනවා.

පංච බල කේන්ද්‍රීය සංකල්පයක් ඔස්සේ රට පෙරට ගෙන යාමේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළට මේ සමුළුව මඟින් උත්තේජනයක් ලැබෙනවද?

අපි සිංගප්පූරුව ගත්තොත් ඒක ‘හබ්’ එකක්. ඩුබායි, මැලේසියාව වගේ රටවලුත් එහෙමයි. මේ සමහර රටවලට වතුර පවා පිටරටින් ගෙන්වන්න ඕන. ඒත් වරාය, ගුවන්තොටුපොළ කේන්ද්‍රකර ගනිමින් ඒවා නැඟී සිටියා. අපටත්, මේ සමුළුව අපේ අරමුණු සාක්ෂාත් කරගන්න පාවිච්චි කළ හැකියි.

පොදු රාජ්‍ය මණ්ඩලය තුළ යම් බලපෑමක් කළ හැකි රටවල් ගණනාවක් නියෝජනය වෙනවා. ද්විපාර්ශ්විකව හා බහුපාර්ශ්විකව මේ රටවල් සමඟ සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ඒ සම්බන්ධතා අපේ ඉලක්ක කරා යාමට උපකාරී කරගත හැකියි.

මහින්ද චින්තන හා මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව අපේ රටේ අලුතින් ස්ථාපිත කළ වරාය, ගුවන්තොටුපොළ මේ කාර්යයේදී ඉතාමත් ඵලදායි ලෙස යොදවා ගැනීමට පුළුවන්. දැනටමත් අපි නිදහස් වරාය සංකල්පයට එක්වී සිටිනවා. හම්බන්තොට වරායෙන් ප්‍රති අපනයන කාර්යයන් හොඳින් සිදුවෙනවා. පසුගිය දිනවල එහි වාහන අංගන පිරී යන තරමට ප්‍රති අපනයනය කරන වාහන ගොඩ බා තිබූ අයුරු දකින්න ලැබුණා.

දශක ගණනාවක් තිස්සේ සිහිනයක් පමණක්ව තිබූ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ළඟදී විවෘත වෙනවා. තවත් අධිවේගී මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මකයි. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පටන් ගනිද්දි විරෝධතා තිබුණා. හැබැයි ඒ සියලු බාධා ජය ගැනීමට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ හැකිවුණා. දැන්, විරෝධය පෑ අයත් මේ මාර්ගය පාවිච්චි කරනවා.

මෙවැනි සමුළුවක් පැවැත්වීම සඳහා වැය වන විශාල මුදලට සරිලන ප්‍රතිලාභ නොලැබෙන බවට එල්ල වන විවේචන ගැන ඔබ මොකද කියන්නේ?

කලින් කියපු දේ මේකටත් අදාළයි. නොබැදි සමුළුව තියද්දිත්, සාර්ක් සමුළුව තියද්දිත් මේ වගේ මඟුල් කෑමේ තේරුම මොකක්ද කියලා සමහරු ඇහුවා. හැබැයි ඒ වගේ ප්‍රතිලාභ ඒ ආණ්ඩුවලටත් වඩා ගත්තේ පස්සේ ආපු ආණ්ඩු. නොබැඳි සමුළුව හොඳ උදාහරණයක්.

විදේශ රැකියා වෙළෙඳ පොළ ගත්තොත් පුහුණු තාක්ෂණික ශිල්පීන්ට රැකියා අවස්ථා ලබාදීමට අපට මේ සම්බන්ධතා යොදා ගත හැකියි. අපි ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කරන රටක් හැටියට ඒ දැනුම සහිත රටවල උපදෙස් හා සහාය අපට ලබාගත හැකියි. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා විශාල වැඩ කොටසක් කරන්නත් පුළුවන්. මේ අපට සලසා ගත හැකි ප්‍රයෝජන එකක්, දෙකක් පමණයි.

තවත් කාරණයක් තමයි, පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සමහර රටවල සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදී කොටස් අපේ රට ගැන ඇති කර තිබෙන වැරැදි අවබෝධය මකාදැමීම සඳහා මෙය අවස්ථාවක් කර ගැනීමට හැකිවීම. මෙහිදී ජනමාධ්‍යයටත් විශාල කාර්යභාරයක් පැවරෙනවා.

මේ සමුළුවට පැමිණෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයෝ පමණක් නෙවෙයි. ඔවුන් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන අතර මෙහි පැමිණෙන ව්‍යාපාරික ප්‍රජාව, ආයෝජකයන් ආදීන් සමඟ සබඳතා පවත්වමින් අපේ ආර්ථිකයේ නව ඉඩප්‍රස්ථා පුළුල් කරගත හැකිය.

අපි ස්වභාවික සම්පත්, ඛනිජ සම්පත්වලින් පොහොසත් රටක්. නිදසුනක් හැටියට දැනට අපි අපනයනය කරන්නේ නැඟෙනහිර වෙරළ තීරයේ ලබාගන්නා ඉල්මනයිට් ආදී ඛනිජ වැලි වශයෙන්ම නම් ඉදිරියේදී මේවා නිස්සාරණය කරලා යවන්න අපට පුළුවන්. එවිට දැනට වඩා විශාල මිලක් අපට ලැබෙනවා. මොකද අගය වැඩි කිරීමක් සිදුවන නිසා.

ජාත්‍යන්තර වශයෙන් අපට එල්ල වූ අනිසි බලපෑම් සම්බන්ධයෙන් මෙය කවර අන්දමේ බලපෑමක් ඇති කරනු ඇතිද?

උදාහරණයක් හැටියට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපට එල්ල වූ බලපෑම් ගත්තොත් ඒවා සමනය කරගැනීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දරන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහාය අපට ලබාගත හැකියි. ජාත්‍යන්තරයත් සමඟ සුහදතාව වර්ධනය කර ගැනීම සඳහා මේ ලැබී ඇත්තේ අගනා අවස්ථාවක්. ඒ වගේම කාගෙවත් දෘෂ්ටිකෝණවලින් නොව අපේ රටේ සැබෑ තත්ත්වය ඔබේ ඇස්වලින්ම දකින්න කියන ආරාධනාව අපට කරන්න පුළුවන්.

එවිට පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සිටින බලවත් රටවල් මුහුණ දෙන ප්‍රශ්න මෙහෙ නැති බව ඔවුන්ට දකින්න ලැබෙයි. විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතීන්ට අයත්, විවිධ ජනවර්ග සාමකාමීව හා සහජීවනයෙන් ජීවත්වන රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන යාමටත් මෙය හොඳ අවස්ථාවක්.

යුද්ධය නිසා විනාශ වූ ආපස්සට ගිය අපේ රට දැන් වේගයෙන් හිස ඔසොවමින් සිටිනවා. රට රැකීමට එක්වූ රණවිරුවන් දැන් රට හැදීමටත් ‍ෙයාමු වී තිබෙනවා. ඔවුන්ගේ ශ්‍රමයෙන් ආසියාවේ දැකුම්කළු හා සැලසුම් සහගත නගර මෙහි ඉදිවෙමින් තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව සිදුවන සංවර්ධන හා නගර අලංකරණ ක්‍රියාදාමය ඔබ දකින්නෙ කොහොමද?

ආරක්ෂක ලේකම්තුමාගේ මෙහෙයවීම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය මේ ගෙන යන වැඩපිළිවෙළ ඔස්සේ ඉතාම දැකුම්කළු, සැලසුම්සහගත නගර දැන් මෙහි නිර්මාණය කෙරෙමින් තිබෙනවා. කොළඹ නගරය වෙනස් වෙමින් ඇති ආකාරය අනුව එය මැනගත හැකියි. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් අතර හොඳම නගර තේරීම සඳහා තරගයක් තිබ්බොත් මුල් 10 අතර නිසැක වශයෙන්ම අපිත් ඉන්න බව විශ්වාසයි.

ඉතාම විනයානුකූලව හා නිර්භීතව ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයක් කළ අපේ රණවිරුවන් මේ වැඩපිළිවෙළ යටතේ නගර අලංකරණය සඳහා විශාල කැපවීමකින් වැඩ කිරීම අප අගය කළ යුතුයි. දීර්ඝ කාලයක් යුදබිමේ සිටි ආයුධත් සමඟ කටයුතු කළ හමුදා භටයකු සාමාන්‍ය ජනයා සමඟ සමීපව කටයුතු කරන තැනට ගෙන ඒම සඳහා කළ යුතු කාර්යභාරය ආරක්ෂක ලේකම්තුමා විශිෂ්ට අන්දමින් සපුරා ඇති බවත් කිව යුතුයි. .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා