මම ජනප්‍රියත්වය  පසුපස යන්නේ නැහැ

මම ජනප්‍රියත්වය  පසුපස යන්නේ නැහැ

ගායන ශිල්පිනි කුෂානි සඳරේඛා

කුෂානි සඳ රේඛා ලයිව් ඉන් කොන්සර්ට් 17දා

“කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි” මේ ඉතා ජනප්‍රිය ගීතයකි. මේ ගී පද ඇසෙන විට ඒ අපූරු කටහඬ ද, අපේ දෙසවනට හුරු පුරුදු මිහිරක් ගෙන එයි. සංගිීතය නම් විශ්ව භාෂාවේ අපූර්ත්වය මවුපිය උරුමයෙන්ම උරුම කර ගත් ඇය කුෂානි සඳරේඛාය. ගායනයට මෙන්ම නර්තනයටද උපන් හපන් කම් දැක් වූ ඇය සිය ජන්මයෙන් ලද හැකියාවන් ඔස්සේ බොහෝ දුර ගමන් කර ඇත. පෙර පිනෙන් ලත් සංගීත ඥානයක්, මව්පිය අභාෂයත් කරපින්නා ගත් කුෂාණි සඳරේඛා වටා, එක්රොක් වූ රසිකයන්ගෙන් ලත් ප්‍රතිචාර නිසාම, ඇය තව තවත් ඉදිරියට ගමන් කරමින් සිටී. කුෂානි සඳරේඛා ලයිව් ඉන් කොන්සර්ට් ද බ්ලැක්, රෙඩ්, වයිට් යනු ඒ ගමන් මඟේ සුවිශේෂි අවස්ථාවක් උදා කර දෙන මොහොතකි. කුෂානි සඳරේඛා මේ ප්‍රසංගය පිළිබඳ අප හා මෙසේ කතාබහට එක්විය.

කොහොමද ප්‍රසංගයේ වැඩකටයුතු?

මේ දිනවල ලහි ලහියේ ප්‍රසංගය සඳහා සූදානම් වනවා. වසර 3කට පෙරත් මේ වැනිම ප්‍රසංගයක් පැවැත්වූවා. එදා ලැබූ රසික ප්‍රතිචාර සහ නැවැත රසිකයන් අතරට ගොස් සජිවීව ගායන කිරීමට ඇතිවූ කැමැත්ත නිසායි ෙම් ප්‍රසංගයක් පැවැත්වීමට හිතුෙව්.

ඉතිං කවදාද මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ?

මෙය පවත්වන්නේ මේ මස 17 වැනිදා සවස 6.30 ට කොළඹ ආනන්ද කුලරත්න ශාලාවේදී නාද්‍රෝ සංගීත කණ්ඩායම ප්‍රාසංගික අංග කිහිපයක් හා තවත් නර්තන, ගායන හා වාදනයෙන් පරිපූර්ණ ප්‍රසංගයක් පැවැත්වීමට තමයි කටයුතු සූදානම් කරන්නේ. ඉතිං, මම මෙය අවස්ථාවක් කර ගන්නවා මගේ සහෘද රසික රසිකාවියන්ට අාරාධනා කරන්න 17 වැනිදා සවස මගේ ප්‍රසංගය සමඟ එක්වන්න කියලා.

කොපමණ ගීත ප්‍රමාණයක් මෙහිදී ගයන්න බලාපොරොත්තු වෙනවාද?

ගීත 20ක් මේ ප්‍රසංගයේදී ගයන්න තමයි සූදානම. පැය 2ක් පුරාවටම මේ ගීත අහන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රසංගය පැවැත්වීමෙන් ලැබෙන මුදල් ඉතා දුෂ්කර , පහසුකම් අඩු පාසැලකට ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන නිසා ඉතාම අඩු මුදලකට මෙහි ප්‍රවේශ පත්‍ර ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව කසුන් කල්හාර හා නදීක ගුරුගේ යුග ගායනයෙන් එක්වෙනවා. සංගීතය සුරේෂ් මාලියද්දගෙන්.

මායා දමයන්ති නම් ජනප්‍රිය ගායිකාව ඔබේ මව. ඇයගේ ගීත මෙහිදී ගයන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම අම්මා ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක්ම මම මෙහිදී ගායනා කරනවා. ඒ වගේම මම ගායනා කළ ටෙලිනාට්‍ය තේමා ගීත හා චිත්‍රපටි ගීතත් මෙහිදී අසන්නට පුළුවන්.

ඇත්තෙන්ම අම්මා ගැයූ ගීත මේ ප්‍රසංගයට එක් වුණේ නැත්නම් එය විශාල අඩුවක් වන බව මම දන්නවා. මොකද මගේ අම්මා, තාත්තා මාව මෙතැනට ගේනවා වගේම, අම්මාගේත් තාත්තාගේ ගීතවලට ඒ හඬට ආදරය කරන බොහෝ පිරිස් ඉන්නවා. ඉතිං ඒ අය වෙනුවෙන් එදා අම්මා ගැයූ ගීතත් මා ගායනා කරනවා.

මේ ඔබේ දෙවැනි ප්‍රසංගය. මේ ප්‍රසංගය පවත්වන්න මෙතරම් කාලයක් ගත වුණේ ඇයි?

එක දිගට ප්‍රසංග කරන්න මම කැමැති නැහැ. එවිට රසිකයින්ට එ්කාකාරි බවක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ටික කාලයක් අරගෙන වෙනස් ආරකින්, විවිධත්වයකින් යුතුව නැවුම් ප්‍රසංගයක් පවත්වන්න තමයි මම අදහස් කළේ.

2009 පැවැත්වූ ප්‍රසංගය වගේම මෙවර පවත්වන ප්‍රසංගයෙත් තේමාව වන්නේ ආදරය. ඒ නිසයි ආදරයට සමීප වර්ණ 3ක් එයට එකතු කරගෙන කුෂානි සඳරේඛා ලයිව් ඉන් කොන්සර්ට් ද බ්ලැක්, රෙඩ්, වයිට් යනුවෙන් නම් කරලා තිබෙන්නේ.

ගායනයට වගේම ඔබ නර්තනයටත් දක්ෂයි කොහොමද මේ දිනවල නර්තන කටයුතු?

ප්‍රසංගයට සූදානම් වන නිසා ටිකක් කාර්යබහුලයිනේ. ප්‍රසංගයෙන් පස්සේ නැවැත නර්තන කටයුතු වගේම රේඛා, සංගීත ආශ්‍රමයේ කටයුතුත් අරඹන්න සූදානමක් තිබෙනවා. ඒ අනුව නව මුහුණුවරකින් යුතුව අලුත් දක්ෂ ගුරුවරු යොදාගෙන වැඩමුළු සහිතව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා . රේඛා සංගීත ආශ්‍රමය සඳහා නවක සිසුන් බඳවා ගනු ලබනවා.

මවගේ ගීත වගේම ඔබේ හඬත්, ගීතත් ජනප්‍රිය වුණා. ඒත් විද්‍යුත් මාධ්‍යයේදී ඔබේ ගීතවලට රූප රචනා නිර්මාණය කරන්නේ අඩුවෙන් නේද?

ඇත්තටම මම හිතනවා රූප රචනා නිසා ඇතැම් විට ගීතයට හානියක් වනවා කියලා. මම පිළිගන්නවා රූප මාධ්‍ය හරහා ගීත වලට වැඩි ජනප්‍රියත්වයක් ලැබෙනවා කියන එක. නමුත් මම ජනප්‍රියත්වය පසුපස යන්නේ නැහැ.

මට අවශ්‍ය ගිතයට සාධාරණයක් කරන්න, ගුණාත්මක බවින් යුතු රස වින්දනයක් ලද හැකි ගීතයක් ගායනා කිරීම තමයි මගේ අරමුණ. මුල් අවධියේ ගායක ගායිකාවන් ගීතවලට රූපරචනා කළේ නැහැ.

ඒත් ඒ ගීත ජනප්‍රිය වුණේ නැද්ද? ගායිකාවක් හෝ ගායකයෙක් හඬින් මිනිසුන් අතරට යා යුතුයි. රූප රචනා නිසා ගීතය කොටුවනවා. ඒකාකාරී වනවා. ඒ ගීතය රසවිඳීන අය ගීතය හරහා දකින්නේ එකම සිද්ධියක් පමණයි.

ගීතය එක්ක අලුත් සිතුවිලි රසිකයන් තුළ ඇතිවිය යුතුයි. එවිටයි ඒ ගීතය රසිකයාට සමීප වෙන්නේ. තමන්ගේ වෙන්නේ. ඒ නිසා රූප රචනය කළ යුතු වන්නේ ගීතයට හානියක් නොවන විදිහටයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා